Monday, April 29, 2024

General line - 0115112241

ඉදිරි පැය 24 තීරණාත්මකයි - ලක්ෂ 11 කට යන්න කියයි - ඊශ්‍රායලය, ගාසා ආක්‍රමණයට සැරසෙයි




ඉදිරි පැය 24 ගාසා වැසියන්ට අතිශය තීරණාත්මක කාලයක් බවට පත්ව තිබෙනවා. ඉදිරි පැය 24 තුලදී ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරය ආක්‍රමණය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව ගාසා තීරයේ උතුරු කොටසේ වෙසෙන සිවිල් වැසියන් සියලු දෙනා ඉදිරි පැය 24 තුලදී දකුණු දෙසට සංක්‍රමණය විය යුතු බව ඊශ්‍රායලය විසින් දැනුම් දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඊශ්‍රායල හමුදාවට අයත් යුධ ටැංකි සහ තවත් ආයුධ රැසක් ගාසා තීරයට ආසන්න දේශසීමාවේ ස්ථාන ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 


එලෙස නම් කර ඇති කලාපයට ගාසා තීරයේ ජනාකීර්ණම ප්‍රදේශය අයත් වන අතර එමගින් ගාසා තීරයේ වෙසෙන මිලියන 1 යි දශම 1 ක පමණ සිවිල් වැසියන් පිරිසක් අවතැන් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම එලෙස අවතැන් වන ප්‍රමාණය ගාසා තීරයේ වෙසෙන සමස්ථ ජනගහනයෙන් අඩක් පමණක් වන බව ද පැවසෙනවා.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඊශ්‍රායලයේ මෙම ක්‍රියාපටිපාටිය හේතුවෙන් විනාශකාරී ප්‍රතිවිපාක අත්විඳීමට ගාසා වැසියන්ට සිදුවනු ඇති බවයි.

එබැවින් සිය තීරණය යළි හරවන ලෙස ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරනවා. කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ ගාසා තීරයේ සැගව සිටින හමාස් සංවිධානය එම ප්‍රදේශයෙන් අතුගා දමන බවයි. 

 

දැන් පැමිණ ඇත්තේ යුද්ධය සඳහා කාලය බව ද ඊශ්‍රායල විදේශ අමාත්‍ය යෝව් ගාලන්ට් ඊයේ ප්‍රකාශ කළා.

මේ අතර අනතුරු ඇගවීම් යනු ඊශ්‍රායලයේ ව්‍යාජ ප්‍රචාරයක් බැවින් ඒ සඳහා අවනත නොවන ලෙස හමාස් සංවිධානය ගාසා වැසියන්ට පවසා ඇතැයි වාර්තා වනවා.

එමෙන්ම ගාසා තීරය තුළ මානුෂික සහන මෙහෙයුම් දැඩි අර්බුධකාරීත්වයක පවතින බවයි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පෙන්වා දෙන්නේ. ගාසා තීරයේ විදුලි සැපයුම අත්හිටුවා ඇති ඊශ්‍රායලය ඉන්ධන සැපයුම් ද කප්පාදු කර තිබෙනවා. 


ඒ හමුවේ ගාසා හි රෝහල්වල පවතින ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක විදුලිජනන යන්ත්‍ර ක්‍රියාත්මක කළ හැක්කේ තවත් පැය කිහිපයක් පමණක් බවයි රතු කුරුස සංවිධානය පෙන්වා දෙන්නේ.

ආහාර හා ජල සැපයුම ද බිඳ වැටී ඇති බැවින් ගාසා තීරය තුළ පවතින ආහාර සහ පානීය ජල ප්‍රමාණය ද සීග්‍රයෙන් පහත වැටෙමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා. 


විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ගාසා තීරයේ ජනාවාස පවතින ස්ථර 02 ක් පවතිනවා. ඒ අනුව සිවිල් වැසියන් ගාසා තීරයේ පළමු ස්ථර කොටසේ ජනාවාස ඉදිකර ගෙන සිටින අතර හමාස් සංවිධානය සිටින්නේ භූ ගත බංකරවල බවයි පැවසෙන්නේ.

එබැවින් හමාස් සංවිධානය ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවල වින්දිතයින් බවට පත්වන්නේ සිවිල් වැසියන් බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙනවා.

ඊශ්‍රායල හමුදාවේ මෙවර ඉලක්කය වී ඇත්තේ එලෙස භූ ගත ස්ථානවල සිරවී සිටින හමාස් සටන්කාමීන් බවත් ගොඩබිම් ආක්‍රමණයකට සැරසෙන්නේ ද ඒ සඳහා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.