Monday, November 25, 2024

General line - 0115112241

08 වෙනි වරටත් ලෝක කුසලානයකදී ඉන්දියව පරාජය කරන්න පකිස්ථානයට බැරි වෙයි




ලොව කිසියම් රටවල් දෙකක් අතර පැවැත්වෙන උණුසුම්ම තරගය ලෙස සැලකෙන ඉන්දු - පකිස්ථාන මෙම ක්‍රිකට් තරගය සම්බන්ධයෙන් ලොව පුරා කතා බහක් ද මතුව තිබෙනවා.

ඒ, මෙම තරග ආරම්භයට පෙර විශේෂ උත්සවයක් පැවැත්වීම හේතුවෙන්.

ප්‍රාසාංගික උත්සවයක් වූ ඊට ජනප්‍රිය ශිල්පීන් ද එක්ව සිටියා.

මෙහි විශේෂත්වය වූයේ මෙවර ලෝක කුසලානය ආරම්භක දිනයේ කිසිදු සමාරම්භක උත්සවයක් නොපැවැත්වීමයි.

එහෙත් තරගාවලිය අතර මැදදී ඉන්දු - පකිස්ථාන තරගයට පෙර මෙවැනි උත්සවක් පැවැත්වීම කාගේත් කතාබහට ලක්වුණා.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ලෝක කුසලාන තරග ඉසව්වක් ආරම්භයේදී සමාරම්භක උත්සවයක් පැවැත්වීම සාම්ප්‍රදායිකව සිදු වන්නක්.

එය ක්‍රිකට් තරග වලදීද ඉකුත් සමයේ දැකිය හැකි කරුණක් වුණා.

එහෙත් වසර 04කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උලෙල අවලංගු කර තරග 11ක් පැවැත්වීමෙන් පසු එය ඉන්දු - පකිස්ථාන තරගයට පෙර පැවැත්වීම විමතියට කරුණක් බවයි බොහෝ පිරිස් පවසන්නේ.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරඟයෙන් පකිස්ථානය පරදා ඉන්දියාව පහසු ජයක් වාර්තා කලා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පිටියට පිවිසි පාකිස්ථානයට පන්දුවාර 42යි පන්දු 05කදී රැස්කරගත හැකිවූයේ ලකුණු 191 ක් පමණයි.

බාබර් අසාම් ලකුණු 50ක් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 49ක් රැස්කලද සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට නොහැකි වුණා.

පකිස්ථාන ඉනිමේ අවසන් කඩුළු 8ම බිද වැටුණේ ලකුණු 36ක් තුලයි. පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් ශිරාජ්, හර්දික් පාණ්ඩ්යා, කුල්දීප් යාදෙව් හා රවීන්ද්‍ර ජඩේජා අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

එය වාර්තා පොත් අතරට ඇතුලත් වුණේ පන්දු යවන්නන් පස් දෙනෙකු කඩුලු 2 බැගින් දවාගත් ලෝක කුසලාන එක්දින ඉතිහාසයේ තුන්වන අවස්ථාව ලෙසයි.

එවන් සිද්ධියක් වාර්තා වූයේද 2015න් පසු පළමු වරටයි.

පිලිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 30යි පන්දු 03ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 192ක් රැස් කරගෙන තරගය ජය ගත්තා.

රෝහිත් ෂර්මා ලකුණු 86 යි. ඉන්දියාව මෙම ජය වාර්තා කලේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට රැස්වූ එක් ලක්ෂ 30,000කට අධික ප්‍රේක්ෂකයින් මධ්‍යයේයි.

ඒ අනුව මෙය සැලකුණේ, ලෝක කුසලාන තරග ඉතිහාසයේ පකිස්ථානයට එරෙහිව ඉන්දියාව ලැබූ 08 වන ජයග්‍රහණය ලෙසයි. 

ඒ අනුව ලෝක කුසලාන තරග ඉතිහාසයේ පකිස්ථානයට එරෙහිව පැවති සෑම තරගයකම ජය ඉන්දියාව සතු කර ගෙන තිබීම ද කැපී පෙනන සිද්ධියක්.