මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිය අපරාජිත බව රැක ගැනීමට සත්කාරක ඉන්දියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, මෙතෙක් තරගාවලියේ අපරාජිතව සිටි නවසීලන්තය කඩුලු 04 කින් පරාජය කරමින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 273ක් රැස් කලා.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඩැරල් මිචෙල් ලකුණු 130ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව ඔහු මේ වසරේ පමණක් ශතක 05ක් හා අර්ධ ශතක 07ක් සමග ජාත්‍යන්තර පිටියේ ලකුණු 1,500කට වඩා රැස් කර ඇති අතර එවැනි දස්කමක් දැක් වූ තුන්වැන්නා ලෙස ඔහු වාර්තා අතරට එක්වුණා.
මීට අමතරව සිය මංගල ලෝක කුසලාන තරගාවලියට එක්වන රචින් රවින්ද්‍ර යලි සාර්ථක වෙමින් නවසීලන්ත ඉනිම වෙනුවෙන් ලකුණු 75ක් රැස් කලා.
සෙසු නවසීලන්ත පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ නොදුන් ඉන්දීය පන්දු යවන්නන් අතරින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සමී ලකුණු 54කට කඩුලු 05ක් බිද හෙලුවා.
ලකුණු 274ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 48 ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී තරගය ජය ගත්තා. නායක රෝහිත් ෂර්මා ලකුණු 44යි.
ලකුණු හඹා යාමේ මේ වන විට ලොව සිටින විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන විරාත් කෝලි යලි සිය දක්ෂතාව මනා ලෙස විදහා දක්වමින් ලකුණු 95ක් රැස් කලා.
තරඟයේ අවසන් භාගයේ ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම ඉන්දීය කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ගේද බලාපොරොත්තුව වී තිබුණේ විරාත් කෝලිගේ ශතකයයි.
ඒ වන විට තරගය ජය ගැනීමට හා කෝලිගේ ශතකයට තිබුණේ ලකුණු 05ක් පමණයි.
එහෙත් හයේ පහරක් එල්ල කිරීමට ගොස් කෝලි දැවී ගියේ සියලු දෙනාගේ බලාපොරොත්තු බිද දමමින්.
ඉන්දියාව අඛණ්ඩව ලැබූ 05වන ජය මෙය වන අතර නවසීලන්තය මෙම තරගාවලියේ පරාජයට පත්වූ එකම තරගය මෙයයි.
එමෙන්ම මෙම තරගයේදී ඉන්දියාවේ ශුබ්මන් ගිල් නව වාර්තාවක් ද බිහි කලා.
ඒ, අඩුම ඉනිම සංඛ්‍යාවකදී එක්දින ලකුණු 2000 සීමාව පසුකර යමින්.
මීට පෙර දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා ඉනිම 40කදී බිහිකර තිබූ මෙම වාර්තාව ශුබ්මන් ගිල් බිද දැමුවේ ඉනිම 38කින්.
ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් පළමු ස්ථානයේ සිටි නවසීලන්තය දෙවන ස්ථානයට ඇද වැටුණු අතර ඉන්දියාව ප්‍රසාද ලකුණු 10ක් සමග පළමු ස්ථානයට පැමිණියා.