ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය අතර තරගය දැන් පැවැත්වෙනවා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 382ක් රැස් කලා.
එය දකුණු අප්‍රිකාව මෙම තරගාවලියේ ලකුණු 300 සීමාව පසුකර ගිය තුන්වන අවස්ථාවයි.
එමෙන්ම දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දී ලකුණු 300 සීමාව අඛණ්ඩව පසුකර ගිය 07වන අවස්ථාවද මෙය වනවා.
මීට පෙර එවැනි දස්කමක් දක්වා ඇත්තේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව පමණයි.
දකුණු අප්‍රිකාවේ මෙම වාර්තාගත පිතිහරඹයේ වැඩිම කොටස්කරුවා වූයේ ක්වින්ටන් ඩී කොක්.
ඔහු පන්දු 140කදී හයේ පහර 07ක් හා හතරේ පහර 15ක් සමග රැස් කල ලකුණු සංඛ්‍යාව 174ක්.
ඔහු මෙම විශිෂ්ට ඉනිම දියත් කලේ සිය 150වන එක්දින තරගයේදී වීම ද විශේෂත්වයක්.
එමෙන්ම ඩි කොක් අද වාර්තා කිහිපයක් ද බිහි කලා.
එක් තරගාවලියක් තුල වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කල ක්‍රීඩකයා බවට ඔහු අද පත්වුණේ ශතක දෙකක් සමග ඒ බී ඩිවිලියස් පිහිටවා තිබූ වාර්තාව බිද දමමින්.
ඩි කොක් මේ දක්වා මෙම තරගාවලියේ තරග 05කදී රැස්කර ඇති ශතක සංඛ්‍යාව 03ක්.
එමෙන්ම ඩි කොක් අද රැස් කල ලකුණු 174 වාර්තා අතරට එක්වූයේ ලෝක කුසලාන තරගාවලියක දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු රැස් කල දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ලකුණු 36කට දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 02ක් බිද වැටී තිබූ අවස්ථාවේ ඩී කොක් සමග පිටියේ එක්වූ ඒඩ්න් මාක්රම්, හෙන්රික් ක්ලාසන් හා ඩේවිඩ් මිලර් සිය ඉනිම ලකුණු 382ක් දක්වා ඉහලට ගෙන ආවා.
මාක්රම් ලකුණු 60ක් රැස් කල අතර ක්ලාසන් ලකුණු 90ක් රැස් කලේ පන්දු 49කින්.
ඊට හයේ පහර 08ක් ඇතුලත්. මිලර් පන්දු 15කදී නොදැවී ලකුණු 34ක් රැස් කලා.
දකුණු අප්‍රිකාව සිය අවසන් පන්දුවාර 10දී ලකුණු 144ක් රැස් කීරීමද කැපී පෙනෙන සිද්ධියක්.
තරගාවලියේ ඉදිරිය පිළිබද බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගයේ ජය බංග්ලාදේශයට අතිශය වැදගත්.
මෙම තරගයෙන් බංග්ලාදේශය පරාජයට පත්වුවහොත් බොහෝ දුරට ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇති.
ලකුණු 383ක දැවැන්ත ඉලක්කය හඹා යාම සදහා බංග්ලාදේශය මේ වන විට පිටියට පිවිස සිටිනවා.