Tuesday, May 7, 2024

General line - 0115112241

ගාසා යුද්ධයේදී චීනයත් ඊශ්‍රායලය වෙනුවෙන් කතා කරයි




හමාස් සංවිධානයට එරෙහිව ආත්ම ආරක්ෂාව සලසා ගැනීම සඳහා ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි චීනය පවසනවා.

එහිදී, ජාත්‍යන්තර මානුෂීය නීිතියට අවනත වෙමින් සිවිල් වැසියන් ආරක්ෂා කළ යුතු බවයි චීනය පවසා ඇත්තේ.

චීනය මේ බව පැවසුවේ සිය විදේශ අමාත්‍ය වැං ඊ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වටයක් සඳහා අමෙරිකාවේ සංචාරය කිරීමට සූදානමින් සිටින පසුබිමක් තුළයි. 

හමාස් සංවිධානය ඉකුත් දා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හමුවේ වර්ධනය වූ යුධමය තත්ත්වය සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර සඳහා චීනයට මීට පෙර චෝදනා එල්ල වුණා.

ගැටුම් නිමා කිරීමට දෙපාර්ශවයම පියවර ගත යුතු බවටයි චීනය එහිදී පවසා තිබුණේ. එහෙත් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ හමාස් සංවිධානය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම සම්බන්ධයෙන් චීනය අමෙරිකාව ඇතුළු බටහිර රටවල චෝදනාවට ලක් වුණා. 

මේ අතර, චීනය හදිසියේ ඊශ්‍රායලය පිළිබඳ අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විචාරකයින් විමතිය පළ කරනවා.

ඊට හේතුව වන්නේ චීනය ඉරානයේ මිතුරු පාර්ශවීය රටක් වීමයි. ගාසා යුද්ධයේදී ඊශ්‍රායලයට එරෙහිව හමාස් සංවිධානයට මෙන්ම හිස්බුල්ලා සංවිධානයටද ආධාර අනුබල ලබා දෙන්නේ ඉරානය බවටයි පැවසෙන්නේ.