Saturday, November 23, 2024

General line - 0115112241

ශිෂ්‍යත්වයේ ප්‍රශ්ණ වැරදිද ? - විභාග බලධාරීන් පළමු වරට කතා කරයි




ඉකුත්දා පැවති ශිෂ්‍යත්ව විභාගයේ ඇතැම් ගැටළු දරුවන්ට අසීරු බවට සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ද දැනුවත් බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් පවසනවා. ඒ, නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්.

ශිෂ්‍යත්ව විභාගයේ ඇතැම් ගැටළු සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ දෙමාපියන් ඉකුත් දින කිහිපයේ විවිධ චෝදනා එල්ල කළා.

ඒ, ප්‍රශ්ණ පත්‍රයේ තිබූ ඇතැම් ගැටළු විසදීමේදී දරුවන් දුෂ්කරතා රැසකට මුහුණදෙන බව පෙන්වා දෙමින්.


ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ද සඳහන් කළේ ප්‍රශ්ණ පත්‍ර පරීක්ෂා කිරීමේදී මෙම ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.


නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් පැවසුවේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්ණ පත්‍රයේ තරමක් අසීරු ගැටළු තිබූ බවයි.

ශිෂ්‍යත්වය යනු තරඟ විභාගයක් බැවින් දරුවන්ට පහසු ගැටළු පමණක් ඇතුලත් කළ නොහැකි බවද ඔහු සඳහන් කළා.


මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ පත්‍රය විශේෂ මණ්ඩලයක් විසින් සකස් කළ බවයි.

එබැවින් ශිෂ්‍යත්ව විභාගයේ අසීරු බවට එල්ලවන චෝදනා පිළිගත නොහැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

වැරදි ප්‍රශ්ණ හෝ පිළිතුරු නොමැති ප්‍රශ්ණ කිසිවක් ශිෂ්‍යත්ව විභාගයේ නොතිබූ බව ඔහු තහවුරු කළා. එමෙන්ම පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ද අනුමැතිය ලද ක්‍රමවේදයක් යටතේ සිදුකරන බව ද ඔහු සඳහන් කළා.


මේ අතර 2023 ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කෙරුණා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී එම කටයුතු සිදු කරන බවයි.

අද සිට ලබන 31 වැනිදා දක්වා විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයිම සිදු කිරිමටයි සැලසුම් කර ඇත්තේ.


මාතර දිස්ත්‍රික්කයේ පමණක් පාසැල් වාර විභාග පැවැත්වෙන බැවින් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීිම හෙට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.

2023 ශිෂ්‍යත්ව විභාගය ඉකුත් 15 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888 කදී පැවති අතර ඊට සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 37,596 ක් පෙනී සිටියා.