Saturday, July 27, 2024

General line - 0115112241

ක්‍රිකට් අතුරු කමිටුව පත් කරමින් ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුව නිකුත් වෙයි




ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පත් කළ සාමාජිකයින් 07 දෙනෙකුගෙන් යුත් අන්තර් පාලන මණ්ඩලයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින්. 1972 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32වන වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව එම අන්තර් පාලන මණ්ඩලය පත් කර තිබෙනවා.

එහි සභාපතිධූරය සඳහා පත් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ අර්ජුන රණතුංගයි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් , විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ සහ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරාද පත් කළ එම අන්තර් පාලන මණ්ඩලයට අයත්.

ඊට අමතරව උපාලි ධර්මදාස, නිතීඥ රකිත නිර්මල රාජපක්ෂ සහ එම් එච් ජමල්ඩීන් එම අන්තර් පාලන මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය ඊයේ දිනයේ සිට අත්හිටවූ බවද එම ගැසට් නිවේදනයේ සඳහන්.

ඒ, 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව මඟින් හෙළිදරවු කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් සිදු කරන ලද දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා සහ යුතුකම් සහ වගකීම් ඉටු කිරීම් පැහැර හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනිම සඳහායි.

එමෙන්ම, අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ස්වාධිනව විනිවිද භාවයකින් යුතුව සහ විශ්වාසනීය ලෙස ඉටු කිරීමට අවකාශ සලසා දීමද අන්තර් පාලන මණ්ඩලයක් පිහිටුවීමට හේතුවක් ලෙස අදාළ ගැසට් නිවේදනයේ දක්වා තිබෙනවා. 


ඒ අනුව,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයක් පවත්වන තෙක් හෝ නැවත දැනුම් දෙන තුරු පවත්වාගෙන යාම සඳහා මෙම අන්තර් පාලන මණ්ඩලය පත් කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා අදාල ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පත් කළ අතුරු කමිටුවේ කාර්යයන් සහ බලතලද එම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ කරුණු විමසිමකදී කියා සිටියේ  ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීම නීති විරෝධි බවයි.

ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට නොහැකි බවට අධිකරණය විසින් නියෝගයක් ලබා දී තිබියදී මෙම පත් කිරීම් සිදු කර ඇති බවද ඔහු කියා සිටියා. ක්‍රීඩා අමාත්‍යවරයා ගත් මෙම ක්‍රියාමාර්ගය හරහා අධිකරණයට අපහාස සිදු කිරීමක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම ප්‍රකාශකයා සඳහන් කළා. 


එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලද තරඟ පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවිමට නොහැකි බවද ඔහු පෙන්වා දුන්නා. 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව මගින් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන්ද සඳහන්ව නොමැති පසුබිමක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මෙවැනි තීරණයකට එළඹීම කිසිසේත් අනුමත කිරීමට නොහැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.


මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් සිදුවූ විවිධ ආන්දෝලනාත්මක සිද්ධි සම්බන්ධයෙන් නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයෙන් ඉකුත් සෙනසුරාදා පළමු වරට අනාවරණය කලා.

එහිදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ද දැනුවත් කර ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැඩි තීන්දු ගන්නා බවයි.


ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙතෙක් නෙඇසූ ආන්දෝළනාත්මක සිද්ධි පළමු වරට හෙලි කල නෙත් රතුකට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.