ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබි්‍රගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කැබිනට් අනු කමිටුවට පැවරෙනවා.
ඒ අනුව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද අදහස් ලබාගනිමින් වත්මන් තත්ත්වය විමර්ශනය කිරීමට සහ අදාළ පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැබිනට් අනු කමිටුව කටයුතු කරනු ඇති.
මීට අමතරව, ජනාධිපති ලේකම්වරයා විසින් නම් කරන ලද ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු, මෙම අනු කමිටුවේ ලේකම් හෝ කැදවුම්කරු ලෙස කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
කමිටුවේ කටයුතු කාර්යක්ෂමව සම්බන්ධීකරණය සහ පහසු කිරීම සදහා එලෙස ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු පත් කර තිබෙනවා.
එමෙන්ම මෙම කමිටුවේ සාකච්ඡා සඳහා අවශ්‍ය යැයි සලකන ඕනෑම නිලධාරියෙකුගේ හෝ අදාළ ක්ෂේත්රයේ ප්‍රවීණයෙකුගේ සේවය ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අනුකමිටුවට බලය පවරා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ ගැටලු වඩාත් සාර්ථක ලෙස විසඳීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීම සහ පුළුල් පරාසයක් තුළ කරුණු සලකා බැලීම මෙම සමස්ත කටයුතුවල අරමුණයි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු සමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත අන්තර් පාලන මණ්ඩලය පත්කළා.
ඉන් අනතුරුව ඊට අදාල ගැසට් නිවේදනය ද නිකුත් කරනු ලැබුවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සඳහන් කළේ.
ඒ අනුව පත් කළ එම අන්තර් පාලන මණ්ඩලය සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වු බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.