Sunday, September 8, 2024

General line - 0115112241

මැතිව්ස්ගේ දැවී යාම ගැන ලෝකයෙන්ම විවේචන




ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යාම සම්බන්ධයෙන් මේ වන විට ලොවපුරා ක්‍රිකට් විචාරකයින්, ක්‍රීඩකයින් හා ප්‍රේක්ෂකයින් විචේවන එල්ල කරමින් සිටිනවා.

ක්‍රිකට් නීතිය කෙසේ වෙතත් මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක් කළ සිදුවීමක් ලෙසයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.

වසීම් අක්‍රම්, ගෞතම් ගාම්බීර්, මයිකල් වෝන්, උස්මන් කවාජා, ඩේල් ස්ටේන්, රමේෂ් රාජා, ෆර්වේස් මහරුෆ්, මොහොමඩ් හෆීස් හා එස් බද්‍රිනාත් වැනි ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක් මෙම සිද්ධිය විවේචනය කර තිබුණේ, එය ක්‍රීඩාවට උචිත සිද්ධියක් නොවන ලෙස පවසමින්. 


ජාත්‍යන්තර විස්තර විචාරක ඉයන් බිෂොප් පවසා තිබුණේ පිටියේ විනිසුරු මරායිස් ඉරස්මස් විසින්, අදාළ ඉල්ලීම ඉවත් කර ගන්නේ දැයි බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන්ගෙන් දෙවරක්ම විමසා ඇති බවයි.

මැතිව්ස්ගේ හිස් වැසුම කැඩී යන්නේ ඔහු පිටියට පිවිස සීමා ඉර ලකුණු කිරීමේදී බැවින් එය “ටයිම් අවුට්” නීතියට යටත් වන්නේ කෙසේදැයි ඔස්ටේ්‍රලියානු පිතිකරු උස්මාන් කවාජා ප්‍රශ්න කර තිබෙනවා.


මීට පෙර ක්‍රිකට් පිටියේ “ටයිම් අවුට්” අවස්ථා 06ක් වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් එම සියලු සිදුවීම් සිදුව තිබුණේ පළමු පෙල තරග වලයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කාන්තා - පිරිමි ඕනෑම තරගයක මෙවැන්නක් සිදුවූ පළමු අවස්ථාව මෙය වනවා. කෙසේ වෙතත් මීට පෙරද ජාත්‍යන්තර පිටියේ, පිතිකරු නියමිත වේලාවට පන්දුවට පහර දීමට සූදානම් නොවූ සිදුවීම් වාර්තා වනවා. 


2006 - 2007 තරග සමයේදී දකුණු අප්‍රිකා -  ඉන්දීයා ටෙස්ට් තරගාවලියේදී වරෙක ඉන්දීය සුපිරි පිතිකරු සව්රොව් ගංගුලි විනාඩි 06ක්ද ප්‍රමාද වී තිබුණා. එම අවස්ථාවේ විනිසුරුවන් ගංගුලිට දැනුම් දී තිබුණේ ඔහුට ටයිම් අවුට් නීතිය අදාල වන බවයි.

එහෙත් දකුණු අප්‍රිකානු කණ්ඩායාමේ නායකයා වූ ග්‍රැහැම් ස්මිත් එහිදී විනිසුරුට දන්වා සිටියේ එම නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසයි.

ජාත්‍යන්තර පිටියේ ටයිම් අවුට් අවස්ථාවක් වාර්තා වූ පළමු අවස්ථාව එය වූ නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා නිසා එය දැවී යාමක් ලෙස සටහන් වුයේ නැහැ.


ටයිම් අවුට් දැවී යාම වැනි සිද්ධීන් ක්‍රිකට් පිටියේ දුර්ලභ හා සාමාන්‍යයෙන් සිදු නොවන සිදුවීම් ගණයට අයත්. මෙතෙක් ක්‍රිකට් පිටියේ වාර්තා වී ඇති එවැනි අසාමාන්‍ය ගණයට වැටෙන තුන්වන දැවී යාමේ ක්‍රමය මෙයයි.

මීට පෙර පන්දුව අජීවී වන්නට පෙර පිතිකරු පන්දුව අතින් ඇල්ලීම හා පන්දු රකින්නෙකු කඩුල්ලට එල්ල කරන පන්දුවක් හිතාමතා නතර කිරීම වැනි සිද්ධීන් සිදුව තිබෙනවා.

එවැනි සිද්ධීන් ද ඇතුලුව මැතිව්ස්ගේ දැවී යාම වාර්තා පොතට ඇතුලත් වී ඇත්තේ ක්‍රිකට් පිටියේ අසාමාන්‍ය සිද්ධියකින් පිතිකරුවෙකු දැවී ගිය 12වන අවස්ථාව ලෙසයි.