Sunday, November 24, 2024

General line - 0115112241

ආබාධයක් මැද මැස්ක්වෙල්ගෙන් ක්‍රිකට් ඉතිහාසයේ සුපිරිම ඉනිමක් - ඔස්ටේ්‍රලියාව අවසන් පූර්ව වටයට.




එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකුගේ විශිෂ්ඨතම ඉනිමක් සියැසින් දැක ගැනීමට ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ඊයේ රාත්‍රියේ හැකිවුණා. ඒ, එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය හා ඔස්ටේ්‍රලියාව අතර තීරණාත්මක තරගයේදීයි.

ග්ලේන් මැස්ක්වෙල් නම් සුපිරි පිතිකරුවාගේ ආශ්චර්යමත් ඉනිම හේතුවෙන් ඔස්ටේ්‍රලියාවට කඩුළු 03ක අතිවිශිෂ්ඨ ජයක් හිමි වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 291ක් රැස් කළා. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඊබ්‍රහිම් සද්‍රාන් නොදැවී ලකුණු 129ක් රැස් කලේ ඇෆ්ගනිස්ථාන පිතිකරුවෙකු ලෝක කුසලාන එක්දින තරගයක රැස්කල පළමු ශතකයේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගනිමින්. එමෙන්ම ඔහු රැස්කළ ලකුණු 129, ලෝක කුසලාන තරගයක ඇෆ්ගන් පිතිකරුවෙකු රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූ අතර තවමත් 21වන වියේ පසුවන සද්‍රාන් ලෝක කුසලානයක ශතකයක් රැස්කල සිව්වන ලාබාලතම පිතිකරු බවටද පත්වුණා.

ඇෆ්ගන් ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ රෂීඩ් ඛාන් පන්දු 18කදී නොදැවී ලකුණු 35ක් රැස් කළා. ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් අවසන් පන්දු 36ට ලකුණු 75ක් රැස් කලේ හයේ පහර 7ක් සමගයි.


පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ඔස්ටේ්‍රලියානු පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ඇෆ්ගන් පන්දු යවන්නන් සමත්වුණා. ඒ, පන්දුවාර 14යි එක් පන්දුවක් තුල ඔස්ටේ්‍රලියානු ප්‍රබල පිතිකරුවන් 5 දෙනෙකු දවා ගනිමින්. එහෙත් පසුව පිටියේ එක්වූ ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 201 ක් රැස් කලේ ඔස්ටේ්‍රලියාවට කිසිවෙකු නොසිතූ සුපිරි ජයක් ගෙන දෙමින්. ලබා දුන් පහසු උඩ පන්දුවක් ඇෆ්ගනිස්ථානය අතින් ගිලිහීම වාසිය කර ගත් ඔහු මෙවර තරගාවලියේ සිය දෙවන ශතකය රැස් කළා.

එමෙන්ම එය මෙවර තරගාවලියේ පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මෙය ඔස්ටේ්‍රලියානු පිතිකරුවෙකු එක්දින පිටියේ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර අංක 06 පිතිකරු ලෙස පිටියට පිවිසි පිතිකරුවෙකු එදා මෙදා තුර ඉතිහාසයේ රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මැක්ස්වෙල් හා පැට් කමින්ස් 08වන කඩුල්ල වෙනුවෙන් නොබිදුනු ලකුණු 202ක සබදතාවක්ද ගොඩ නැගුවා. එය 08 වන කඩුල්ල වෙනුවෙන් ඔස්ටේ්‍රලියානු පිතිකරුවන් දෙදෙනෙකු ගොඩ නැගූ ඉහලම සබදතාවයි. එමෙන්ම එය එක්දින ඉතිහාසයේ 08වන හෝ ඊට පහල කඩුල්ලක් වෙනුවෙන් ගොඩ නැගූ ඉහලම සබදතාව වනවා.


තරගයේ නිහඩ වීරයා බවට පත්වෙමින් ඔස්ටේ්‍රලියානු නායක පැට් කමින්ස් එක් අන්තයක් රැක ගනිමින් පන්දු 68කදී නොදැවී ලකුණු 12ක් රැස් කලේ තම සගයා පිලිබද තිබූ විශ්වාසය ලොවට පෙන්වමින්. කිසිවෙකුත් කිසිදු විටක නොකරන තරම් කටයුත්තක් කල ඔස්ටේ්‍රලියානු නායකයා මෙවැනි පිතිහරඹයක නිරත වූයේ තරගය පවා අවදානමේ හෙලමින්. 


කෙසේ වෙතත් සමස්ථ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පුදුමයට පත් කරමින් මැක්ස්වෙල් තම නායකයාගේ විශ්වාසය අකුරටම ආරක්ෂා කරමින් ඔස්ටේ්‍රලියාව තරගාවලියේ අවසන් පූර්ව වටයට රැගෙන ගියා.


මැක්ස්වෙල්ගේ තනි තරගයක් බවට පත්ව තිබූ තරගයේ 39 වන පන්දුවාරයේදී ඔහු ආබාධයකට ලක්වුණා. ඒ අනුව ඔහුට කඩුලු අතර දිව යාමට නොහැකි තත්ත්වයක් උදා වුවද ඔහුගේ අන්තය ලැබෙන තෙක් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පැට් කමින්ස් පන්දුවට පහර දුන්නා. පන්දුවාරය නිමාවූ අවස්ථාවේ යලි මැක්ස්වෙල් පන්දුවට පහර දුන් අතර ඔහු හතරේ පහර පමණක් එල්ල කරමින් තරගයේ ජය ඔස්ටේ්‍රලියාවට ගෙන ඒමට දැඩි උත්සාහයක නිරත වුණා. ඔහු හයේ පහර හා හතරේ පහර එල්ල කලේ කිසිදු පාද චලනයකින් තොරව කඩුල්ල අසල රැදී සිටිමින් පමණක් වීම කැපී පෙනුනා.

කඩුලු අතර දිව යාමට ඕනා තරම් අවස්ථා තිබුණද ඔස්ටේ්‍රලියාවට එම ලකුණු ලබා ගත නොහැකි වූයේ මැක්ස්වෙල්ගේ පාදයේ ආබාධය නිසායි. විටක තරගයේ ජයග්‍රාහී ප්‍රතිශතය ඇෆ්ගනිස්ථානයට සියයට 98ක් හා ඔස්ටේ්‍රලියාවට සියයට 02ක් ලෙස පැවති අතර මැක්ස්වෙල් සෑම විටම හයේ පහරක් හෝ හතරේ පහරක් එල්ල කරමින් ඇෆ්ගන් පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළා.

පසුව මැක්ස්වෙල් තරගය නිම කලේ 47වන පන්දුවාරයට ලකුණු 22ක් රැස් කරමින්. මැක්ස්වෙල්ගේ ඉනිම ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු දියත්කල විශිෂ්ඨතම ඉනිමක් ලෙසටයි සැලකුණේ.