Saturday, July 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු යෝජනාවෙන් ක්‍රිකට් බෝඩ් එක එලවන්න පුළුවන්ද




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාව ඒකමතිකව සම්මත වීම හරහා දැන් වත්මන් ක්‍රීකට් පාලක මණ්ඩලයට කුමක් සිදුවේද ? බොහෝදෙනෙකු දැන් නගන ප්‍රශ්ණය එයයි.

ඒ අනුව නෙත් නිවුස් එහි නීතිමය තත්ත්වය පිළිබඳ විමසීමක් කළා. පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් සම්මත වීමෙන් ඡන්දයකින් තේරී පත්වන ස්වාධීන ආයතනයක නිලධාරී මණ්ඩලයක් විසුරුවා හැරිය හැකිද ? ඊට ප්‍රතිචාර දක්වමින් නීතිවේදීන් පැවසුවේ මෙරට ස්ථාපිත යම් ආයතනයකට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝණය නොකර නිලධාරීන් පත්වන්නේ නම් යෝජනාවක් හරහා පාර්ලිමේන්තුවට හෝ එම පත්වීම් අවලංගු කළ නොහැකි බවයි.

මේ, ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා.

>


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉවත් කිරීමට අදාළව පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වීම හරහා කිසිදු බලපෑමක් එල්ල කළ නොහැකිද ? නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ එවැනි ආයතනයක ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින්නේ නම් එහිදී කළ යුත්තේ අධිකරණ ක්‍රියාමාර්ගයකට ගොස් අධිකරණය හරහා තහනම් නියෝගයක් ලබාගැනීම බවයි.

 

පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව සම්මත කිරීම මගින් සිදු කෙරුණේ ජනතාව විසින් ජනතා නියෝජිතයින් ලෙස පත් කළ මන්ත්‍රීවරුන් නැගූ හඬ සලකා බලන ලෙස කළ දැනුම් දීමක් සිදුකිරීම පමණක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව තවදුරටත් ක්‍රිකට් ආයතන නිලධාරීන් එම තනතුරේ රැඳී සිටීම නීතිමය ගැටළුවක් නොව සදාචාරාත්මක ගැටළුවක් පමණක් බව ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පැවසුවා.


පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ පමණින් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉවත් විය යුතු යැයි නියමයක් නොමැති බවයි ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා වැඩිදුරටත් පැවසුවේ.