Sunday, May 5, 2024

General line - 0115112241

හමාස් නායකයා සොයා ඊශ්‍රායලය ගාසා තීරය පීරයි




ගාසා ගැටුම් දරුණු වෙද්දී ඊශ්‍රායලය හමාස් සංවිධානයේ ගාසා නායකයා සොයා ප්‍රභල මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඊශ්‍රායල හමුදාවට මහත් හිසරදයක් වී ඇති හමාස් හි ගාසා නායකයා යහියා සින්වාර්. 


ඊශ්‍රායලය ඔහුව හඳුන්වන්නේ හමාස් සංවිධානයේ ඔසාමා බින් ලාඩ්න් ලෙසයි. ඊශ්‍රායල ආරක්ෂක බලකායේ ජාත්‍යන්තර ප්‍රකාශක ලුතිනන් කර්නල් රිචඩ් හෙක්ට් පවසන පරිදි යහියා සින්වාර් යනු නපුරේ මුහුණයි. ඔහු බින් ලාඩන් මෙන් හමාස් සංවිධානය පිටුපස සිටින මහ මොළකරු බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඔහු තම වෘත්තිය ගොඩනඟා ගත්තේ පලස්තීනුවන් ඝාතනය කිරීම මගින් බවයි ඊශ්‍රායලය පවසන්නේ. එබැවින් යහියා සින්වාර් යනු ගාසා වේ කාන් යුනිස් හි මස් වෙළෙන්දා ලෙස ප්‍රකට වී ඇතැයි ඊශ්‍රායලය පවසනවා. 


1962දී ගාසා වේ ඛාන් යුනිස් හි උපත ලද යාහ්යා ඊබ්‍රාහිම් හසන් සින්වාර්, 1948 අරාබි-ඊශ්‍රායල් යුද්ධයේදී අෂ්කෙලෝන් නගරයෙන් පලා ගිය සරණාගත පවුලකින් පැවත එන්නෙක් බව පැවසෙනවා.

ඔහු වෘත්තියෙන් නීතිඥයෙකු වන අතර ගාසාහි ඉස්ලාමීය විශ්ව විද්‍යාලයෙන් අරාබි අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා ඇතැයි සඳහන්. මේ අතර හමාස් සටන්කාමීන් ගාසා තීරයේ පිහිටි ඔවුන්ගේ උමං මාර්ග තුළ සැගව සිටින බවත්, එම උමං මාර්ගවල පිවිසුම් ඇත්තේ ගාසා නගරයේ පිහිටි රෝහල් තුළ බවත් ඊශ්‍රායලය චෝදනා කළා.