Sunday, November 24, 2024

General line - 0115112241

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට චැම්පියන්ස් කුසලානයත් අහිමි වෙයි




එක්දින ලෝක කුසලානය අහිමි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලිය ද ඊයේ රාත්‍රියේ නිල වශයෙන් අහිමි වී ගියා.

ඒ, ලෝක කුසලානයේ නවවන ස්ථානයට පත් වීමත් සමගයි.

2025 චැම්පියන්ස් කුසලන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් මෙවර ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 08 තුල සිටීම අනිවාර්ය වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී නොවන පළමු චැම්පියන්ස් කුසලාන තරගාවලිය මෙය වනු ඇති.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වන පළමු අවස්ථාවද මෙය වනවා.

ශ්‍රී ලංකාවට තිබූ අවසන් බලාපොරොත්තුව වූයේ බංග්ලාදේශ කණ්ඩායම හෝ එංගලන්තය ප්‍රතිවාදීන් හමුවේ දරුණු පරාජයකට ලක්ව ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ශ්‍රී ලංකාවට වඩා පහල යාමයි.

බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව  හමුවේ පරාජය වුවද ඔවුන් සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කර ගත්තා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුළු 08කට ලකුණු 306යි.

ඕස්ට්‍රේලියාව  එම ඉලක්කය පසුකර ගියේ කඩුලු 02ක් පමණක් බිද වැටී තිබියදීයී.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල මිචෙල් මාෂ් නොදැවී ලකුණු 177ක් රැස් කලා.

අනෙක් තරගය පැවැත්වුණේ පකිස්ථානය හා එංගලන්තය අතරයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 09කට ලකුණු 337ක් රැස් කලා.

කෙසේ වෙතත් පකිස්ථානයට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 244ක් පමණයි.

මෙම තරගයේ පරාජයත් සමග පකිස්ථානයටද මෙවර ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් 04 අතරට පිවිසීමට නොහැකිව ලෝක කුසලානයෙන් ඉවත් වුණා.

ඒ අනුව නවසීලන්තය සුපිරි කණ්ඩායම් 04ට සුදුසුකම් ලැබූ අතර ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව හා දකුණු අප්‍රිකාව එම වටයට පිවිසි සෙසු කණ්ඩායම් වනවා.