Sunday, May 5, 2024

General line - 0115112241

ඊශ්‍රායලය ගාසා තීරයේ විශාලතම රෝහල වටලයි




ගාසා නගරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල ඊශ්‍රායල හමුදාව විසින් වටලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඇතැම් වාර්තා අනාවරණ කරන්නේ ඊශ්‍රායල හමුදාවට අයත් යුධ ටැංකි පවා රෝහල ආසන්නයේ ගමන් කරන අයුරු දක්නට ලැබෙන බවයි.

මේවනවිටත් අල් ෂිෆා රෝහල තුළ ධාරිතාවයද ඉක්මවා රෝගීන් සිටින බවත් ඒ අතර කුඩා දරුවන්ද වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් ඇතුලු රෝහල් කාර්යය මණ්ඩලය පවසන්නේ රෝගීන්ට අවශ්‍ය ජලය සහ ආහාර අවසන් වෙමින් ඇති  බව සහ රෝහලේ විදුලි සැපයුමද සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවයි.

එමෙන්ම, රෝහලේ සිටින අලුත උපන් දරුවන්ගේ දිවි බේරා ගැනිමට ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවද වෛද්‍යවරුන් පවසනවා.

අදාළ රෝහල තුළ අලුත උපන් දරුවන් 20 දෙනෙකු පමණ  ජීවිත අවධානමක සිටින බවත් එවැනි අලුත උපන් දරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් එම වෛද්‍යවරුන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රෝහල තුළ සිටින රෝගීන්ට දිවි බේරාගෙන පලා යාමට හෝ අවස්ථාවක් නොමැති බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් ඊශ්‍රායලය හමුදාව පවසන්නේ අල් ෂිෆා රෝහල තුළ හමාස් සටන්කාමීන් සැඟව සිටින බවයි.

ඔවුන් රෝගීන්ව මිනිස් පලිහක් සේ භාවිතා කරමින් සිටින බවද ඊශ්‍රායල හමුදාව පවසනවා. හමාස් සටන්කාමීන්ට අයත් ප්‍රධාන උමං මර්ගයක පිවිසුම පවතින්නේ අල්ෂිෆා රෝහල තුළ බවයි ඊශ්‍රායල හමුදාව චෝදනා කළේ.