Saturday, January 11, 2025

General line - 0115112241

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව පාවිච්චි කරන්න එපා - නාමල් කියයි




ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදාගත යුතු බවත් එසේ නොවුනහොත් අවසානයේදී අපහසුතාවයට හා අගතියට පත්වන්නේ ක්‍රීඩකයින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේදී පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ. 
එලෙස සිදු කලේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

මෙම දේශපාලන හා ක්‍රිකට් පරිපාලනයේ පවතින ගැටීම හේතුවෙන් ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනම් කර ඇති බවත් මෙසේ ක්‍රීඩා තහනම නිසා වාර්ෂිකව ඍජු හා වක්‍රව ඩොලර් මිලියන 100ක් පමණ අහිමිවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා. 

විශේෂයෙන්ම ආණ්ඩුවේ අභ්‍යන්තර පරිපාලන ගැටළු නිරාකරණය කර ගැනීමට ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව පාවිච්චි නොකල යුතු බවත්, ප්‍රශ්න තිබෙනවා නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු බවත් නැතිනම් විනාශ වී යන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා ක්‍රීඩකයින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවසුවා.

පසුගිය කාලයේදී රග්බි හා පාපන්දු පරිපාලනය හා දේශපාලඥයන් අතර ද ගැටුම් ඇතිවූ බවත් එමගින් සිදුවූයේ එම ක්‍රීඩාවන් තහනම් වීම බවත් ඔහු ප්‍රකාශ කළා. 

එබැවින් දේශපාලනය හා ක්‍රීඩා පරිපාලනය අතර පවතින ගැටුම්වලින් සිදුවන්නේ අනර්ථයක් බවත් පසුගිය කාලයේ සිදුවූ කරුණු කාරණා අනුව එය අවබෝධ කර ගැනීම අපහසු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.