Sunday, May 5, 2024

General line - 0115112241

ඊශ්‍රායල හමුදාව ගාසා හි විශාලතම රෝහලට කඩා වදී




ගාසා තීරයේ පිහිටි විශාලතම රෝහල වන අල්ෂිෆා රෝහල ඉලක්ක කර හමුදා මෙහෙයුමක් ආරම්භ කල බව ඊශ්‍රායලය පවසනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඊශ්‍රායල හමුදාව සහ යුධ ටැංකි රෝහලේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුළු වී ඇති බවයි.

රෝහල තුළ රෝගීන් මෙන්ම යුද්ධයෙන් අවතැන්වූ දහස් ගණනක් සිටින බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල හමුදාව අල්ෂිෆා රෝහල වටලනු ලැබුවේ මීට දින කිහිපයකට පෙරයි.

අනතුරුව එහි සිටි කිසිවෙකුට රෝහලෙන් පිටවීමට නොහැකි වුණා.

විදෙස් මාධ්‍ය පවසන්නේ අද දිනයේ ඊශ්‍රායල හමුදාව රෝහලට ඇතුළු වීමට පැය 03 කට පෙර එහි සිටි පිරිසට අනතුරු ඇගවීම් සිදු කර තිබූ බවයි.

හමුදාව ඇතුළු වන බැවින් දොරටු සහ කවුළු අසලින් ඉවත් වන්නැයි ඔවුන් රෝහල තුළ සිටි පිරිසට අනතුරු අගවා තිබෙනවා. 

කෙසේවෙතත් රෝහල තුළ විදුලි සැපයුම සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති අතර ආහාර, ජලය සහ ඖෂධ තොග ද අවසන් බවයි වාර්තා වන්නේ.

එහි සිටින අළුත් උපන් නොමේරු ළඳරුවන් 37 දෙනෙකුගේ දිවිබේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.

නවතම වාර්තා පවසන්නේ මේවනවිට ඉන් දරුවන් කිහිපදෙනකු මියගොස් ඇති බවයි.

එමෙන්ම මිය යන රෝගීන් භූමදානය කිරීම රෝහල තුළම සමූහ වශයෙන් සිදු කෙරෙන බව සඳහන්.

මේවනවිටත් එලෙස මියගිය රෝගීන් 200 ක් පමණ වළදමා ඇතැයි වාර්තා වනවා.

ඊශ්‍රායල හමුදාව අල්ෂිෆා රෝහල තුළට ඇතුළු වූයේ හමාස් සංවිධානයේ උමගක දොරටුවක් ඒ තුළ ඇති බව පවසමින්.

එමෙන්ම හමාස් සංවිධානයේ මෙහෙයුම් කටයුතු රෝහල තුළ සිට සිදු කෙරෙන බවත් ඊශ්‍රායල හමුදාව පවසනවා.

කෙසේවෙතත් රෝහල් බලධාරීන් මෙන්ම හමාස් සංවිධානය ද ඊශ්‍රායලයේ එම චෝදනා ප්‍රතික්ෂේප කළා. 

මේ අතර ගාසා තීරයේ ප්‍රධාන කොටස් කිහිපයක් සිය හමුදාව විසින් අත්පත් කර ගෙන ඇතැයි ඊශ්‍රායලය පවසනවා.

හමාස් සංවිධානයේ පොලිස් ස්ථානය ඇතුළු ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථාන කිහිපයක් ඒ අතර අයත්.