Saturday, July 27, 2024

General line - 0115112241

ඊශ්‍රායලය සමග දේශපාලන සබඳතා එපා - ඉරානය, මුස්ලිම් රටවලින් ඉල්ලයි




ඊශ්‍රායලය සමග පවතින සියලු දේශපාලන සබඳතා අතහරින ලෙස ඉරානය ලොව මුස්ලිම් රටවලින් ඉල්ලීමක් කළා.

ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අල් කමේනි එම රටවලින් ඉල්ලා ඇත්තේ අවම වශයෙන් කෙටි කාලයකට හෝ ඊශ්‍රායලය සමග පවතින දේශපාලන සබඳතා නතර කරන ලෙසයි. 

පසුගිය සතියේ සෞදි අරාබියේ රියාද් අගනුවරදී ඉස්ලාමීය සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ සාමාජිකයින් සහ අරාබි ලීගය අතර ඒකාබද්ධ සමුළුවක් පැවැත්වුණා.

එහිදී ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මුස්ලිම් රටවලින් ඉල්ලා තිබුණේ ඊශ්‍රායලයට එරෙහිව පුළුල් සම්බාධක පැනවීමට කටයුතු කරන ලෙසයි.

එහෙත් ඒ සඳහා එම රටවල් එකග නොවූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඉන් අනතුරුවයි කෙටි කාලයකට දේශපාලන සබඳතා හෝ නතර කරන ලෙස ඉරානය යළිත් මුස්ලිම් රටවලින් ඉල්ලීමක් කර ඇත්තේ. 

මේ අතර ගාසා තීරයේ පිහිටි විශාලතම රෝහල වන අලි ෂිෆා රෝහල මරණයේ කලාපයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

අදාළ රෝහලේ සංචාරය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන ය ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒකාබද්ධ කණ්ඩායමක් ඊයේ ඊශ්‍රායල හමුදාවෙන් අවසර ලබා ගෙන තිබූ අතර එම සංචාරයෙන් අනතුරුවයි ඔවුන් මේ බව පවසා ඇත්තේ.

මේවනවිට වාර්තා වන පරිදි අල් ෂිෆා රෝහලේ පිවිසුම අභියසම ඇත්තේ විශාල සමූහ මිනීවළක්. 

මේ අතර අල් ෂිෆා රෝහලේ සිටි රෝගීන් හා තුවාලකරුවන් 700 කගෙන් පමණ වූ පිරිසෙන් තවදුරටත් එහි සිටින්නේ රෝගීන් 291 දෙනෙකු පමණ බව ද වාර්තා වනවා.

ඔවුන් බරලතල තත්ත්වයේ පසුවන්නන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනෙක් පිරිස ඊයේ ලද අවසරයෙන් රෝහල් භූමියෙන් පිටව ගොස් තිබෙනවා.

එහෙත් එම රෝගීන්ට රෝහලෙන් පිටව යන ලෙස දැනුම් දුන්නේ කවුරුන්ද යන්න මේවනවිට ගැටළු සහගත වී ඇති බවයි වාර්තා වන්නේ.

රෝහලේ අධ්‍යක්‍ෂවරයා පවසන්නේ ඊශ්‍රායල හමුදාව විසින් ඔවුන්ට පිටව යන ලෙස දැනුම් දුන් බවයි. රෝගීන් රෝහලෙන් ඉවත් කර ඇත්තේ රෝහල් අධ්‍යක්‍ෂවරයා බව ඊශ්‍රායල හමුදාව පවසා තිබෙනවා.