Thursday, May 9, 2024

General line - 0115112241

ව්‍යාපෘති එපා - ඉතාලිය චීනයට කියයි




චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියෙන් ඉවත්වීමට ඉතාලිය තීරණය කර තිබෙනවා.

ඉතාලි රජයේ මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ එම ව්‍යාප්තියෙන් ඉවත් වන බව ඉතාලිය නිල වශයෙන් චීනයට දන්වා ඇති බවයි.

ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි මෙම තීරණය ගෙන ඇති බව ද පැවසෙනවා.

BRI හරහා ක්‍රියාත්මක වන චීන ව්‍යාපෘති මගින් අපේක්ෂිත ප්‍රථිපල නොලැබෙන බවට ඉතාලිය තුළ කතිකාවතක් ගොඩනැගී තිබුණා.

එවන් පසුබිමක් තුළ ඉතාලිය ඉන් ඉවත් වන බවට ද අවස්ථා කිහිපයකදී වාර්තා පල වුණා.

ඉන් අනතුරුවයි ඉතාලිය චීනයේ BRI ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.

2019 දී ඉතාලිය මෙම වැඩසටහනට සම්බන්ධ වූයේ ඊට එක්වූ පළමු සහ එකම ප්‍රධාන බටහිර රටක් බවට පත්වෙමින්.

එමගින් චීනයට ඉතාලියේ සංවේදී තාක්‍ෂණයන් සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පාලනය කිරීමට හැකි වනු ඇතැයි අමෙරිකාව පැවසුව ද ඉතාලිය එම ප්‍රකාශ බැහැර කර තිබුණා.

කෙසේ වෙතත්, ජෝර්ජියා මෙලෝනි ඉතාලියේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ චීනය බටහිරට සම්බන්ධ කරන ලද පැරණි සේද මාවත ආදර්ශයට ගත් ගිවිසුමෙන් ඉවත් වීමට අවශ්‍ය බවයි.

චීන ගිවිසුම් හරහා ඉතාලියට සැලකිය යුතු ප්‍රතිලාභ නොලැබෙන බව ද ඇය පැවසුවා.

2019 වසරේදී එළඹි ගිවිසුම 2024 මාර්තු මාසයේදී කල් ඉකුත් වන අතර ඉතාලිය එය ඉවත් කරන බවට අවම වශයෙන් මාස තුනක ලිඛිත අනතුරු ඇඟවීමක් සිදු කල යුතුව ඇතැයි සඳහන්.

නැතහොත් එය ස්වයංක්‍රීයව අලුත් වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.