Monday, January 27, 2025

General line - 0115112241

පොලිස් නිලධාරීන් පිරිසකට හදිසියේ ස්ථාන මාරු




ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තුන් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් අට දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ පරිදි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් එම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ඒ අනුව සීතාවකපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී කේ.ඒ.ජේ. කොඩිතුවක්කු ස්ථාන මාරු කර ඇත්තේ ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය වෙතයි.

ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරී සිදුකළ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී එල්.ආර්.ගමගේ මාතලේ කොට්ඨාසභාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

මාතලේ කොට්ඨාසය භාරව රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී ඩී එස් ඩී වීරසිංහ සීතාවක කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

මේ අතර පොලිස් මූලස්ථානයේ අතිරේක මූලස්ථාන පරිපාලන අධ්‍යක්‍ෂ ලෙස රාජකාරී කළ පොලිස් අධිකාරි කේ ඩී බී සී සේනාධිර දුක්ගැනවිලි අධිකාරී කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. 

එමෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුද ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ඒ අනුව කොළඹ දකුණු කොට්ඨාසයේ රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සී ඒ අබේසිරිගුණවර්ධන පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත මාරු කර තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරි බී එල් ඒ ප්‍රසන්න ස්ථාන මාරු කර ඇත්තේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ සිට කළුතර කොට්ඨාසය වෙතයි. 

ප්‍රවාහන කොට්ඨාසයේ රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී එම් ඩී ඒ ජයන්ත කොළඹ දකුණ කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී එම් ඩී වත්තේගෙදර රාජ්‍ය බුද්ධි සේවාව වෙත ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

මේ අතර සහකාර පොලිස් අධිකාරි පී ආර් සී ද සිල්වා 2020 වසරේ මැයි 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා.