Friday, November 15, 2024

General line - 0115112241

පස්දෙනෙක් ඝාතනය කළ දකුණේ වෙඩි තැබීම ගැන සොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 6ක්




දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එම විමර්ශන කණ්ඩායම් පත්කර ඇති බවයි. 


ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් පුද්ගලයන් පස් දෙනාම වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ජීප් රථයකින් පැමිණි පිරිසක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 


සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. 


තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ අද දිනයේ විභාග වීමට නියමිත නඩුවකට සාක්ෂි ලබා දීම සඳහා ඩිෆෙන්ඩර් රථයේ සිටි පුද්ගලයන් 5 දෙනා ගමන් කරමින් සිට ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ, මීට වසර දෙකකට පමණ පෙර තංගල්ල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළවයි. 

එම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් 5දෙනා මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත නිදහස්ව සිටි පුද්ගලයින් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

මිය ගිය පිරිස අතර  අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරාද වනවා.