Saturday, November 30, 2024

General line - 0115112241

සනත් නිශාන්තගෙන් පුරප්පාඩුවූ මන්ත්‍රී ධූරය විමල්ගේ පක්ෂයට




සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ අභාවයෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර තේරී පත්වීමට නියමිතයි.

ඒ, අවසන් වරට පැවති මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික් මනාප ලැයිස්තුවට අනුවයි. 

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මැතිවරණයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාල මනාප ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ අපේක්ෂකයින් අතරින් වැඩිම මනාප සංඛ්‍යාව ලබාගෙන තිබුණේ ජගත් ප්‍රියංකරයි.

එම මැතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබමින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පළමු ස්ථානයට පත්වුණා. ඒ, මනාප 80,082 ක් ලබාගනිමින්. 

ජගත් ප්‍රියංකර එම ලැයිස්තුවේ හය වැන්නායි.

ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛයාව 40,527 ක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ජගත් ප්‍රියංකර මෙම මැතිවරණයට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.

ඔහු ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ද වනවා.

කටුනායක අධිවේගී මාර්ගයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්වුණා. 

ඒ, ඔහු ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථය ඒ දෙසෙටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන්.

පසුව ජීප් රථය ආරක්ෂක වැටෙහි ද ගැටී තිබූ අතර අනතර සිදුවන අවස්ථාවේ ජීප් රථයේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කරමින් සිටියා.

අනතුරින් බරපතල තුවාල ලැබූ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ රථයේ රියුදුරු රාගම රෝහලට ඇතුලත් කෙරුණා.

එහිදී සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා මියගියා.

එම අනතුරින් මියගොස් තිබුණේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂාව සදහා ගමන් කරමින් සිටි මහව, අටවරළ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ජයකොඩි ආරච්චිලාගේ අනුරාධ ජයකොඩි නැමැති පොලිස් කොස්තාපල්වරයායි. 

රාජ්‍ය අමාත්‍යවරයා මෙම සුඛෝපභෝගී  ජීප් රථයේ ඉදිරි වම් පස අසුනේ සහ ඔහුගේ ආරක්ෂක පොලිස් කොස්තාපල්වරයා ද අමාත්‍යවරයාට පසු පස, වම් පැත්තේ අසුනෙහි හිද ගමන් කරමින් සිට තිබුණා.

අනතුර සිදුවූයේ අධිවේගී මාර්ගයේ 11 යි දශම 1 කිලෝමීටර් කණුව අසලදීයි.

ජිප් රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබුණා.

අනතුර සිදුව තිබුණේ අද අලුයම 1 යි 55 ට පමණයි.

තුවාල ලැබූ රියදුරා රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුර සිදුවූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කෙරුණා.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සැලවූ වහාම දේශපාලනඥයින් කිහිපදෙනෙකු ම සිරුර තැන්තපත් කර තිබූ රාගම ශික්ෂණ රෝහල වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.