Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයට එරෙහි විස්සයි විස්ස තරඟාවලි ජයත්  ශ්‍රී ලංකාවට




ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් ජය ගනිමින්.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 187ක්.

පැතුම් නිස්සංක පන්දු 11කදී හතරේ පහර 05ක් සමගින් ලකුණු 25ක් රැස්කළා.

පන්දු 14කට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 23ක්.

ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජයද සිල්වාට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 14ක් පමණයි.

කෙසේවෙතත් පන්දු 42කට මුහුණ දුන් සදීර සමරවික්‍රම හතරේ පහර 05ක් සමග ලකුණු 51ක් රැස් කළා.

නායක වනිදු හසරංග පන්දු 09කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 22ක්.

ඊට 06 පහර 02ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 22කදී නොදැවී ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට 06 පහර 04ක් සහ 04 පහර 02ක් ඇතුළත්. 

ජයග්‍රාහී ලකුණු 188ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දු වාර 17ක් අවසානයේ ලකුණු 115කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. 

ඇන්ජලෝ මැතිව්ස්, බිනුර ප්‍රනාන්දු, වනිදු හසරංග, මතීෂ පතිරණ කඩුලු 02 බැගින් දවා ගත්තා.

දෙරට අතර අවසන් පන්දු වාර විස්සයි විස්ස ක්‍රීකට් තරඟය හෙට දඹුල්ලේදී පැවැත්වෙනවා.

දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය සහ ටෙස්ට් ක්‍රිකට් තරඟයද ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.