ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වස්කඩුව, කොස්ගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
ත්‍රීරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු 33ක් වූ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ සිටි ඔහුගේ බිරිද ද තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කොළඹ දෙස සිට ගාල්ල දෙසට කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එලෙස ත්‍රීරෝද රථයේ ගැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් ත්‍රීරෝද රථය මීටර් තිහක් පමණ ඉදිරියට ඇදී ගොස් විදුලි කණුවක සහ ලොතරැයි අළෙවි කුටියකද ගැටී තිබෙනවා.
එම ත්‍රීරෝද රථය අපරීක්ෂාකාරී ලෙස දකුණු දෙසට හැරවීමේදී සහ ලොරි රථයේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
ලොරි රථයේ රියදුරා අනතුර සිදුවීමෙන් අනතුරව එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර උතුර පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.