Sunday, September 8, 2024

General line - 0115112241

ගුවන් සේවක වර්ජනය නිසා ගුවන් ගමන් වාර 04ක් ප්‍රමාද වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතී

ටී කේ ජී කපිල




කටුනායක ගුවන් තොටුපළ සේවකයන් අද අලුයම 04යි 30ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය කීපයකට පසුව අත්හිටුවා තිබෙනවා.

ඒ, ගුවන් තොටුපළ බලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමට එකඟවීමෙන් අනතුරුවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් ගමන් 04ක් ප්‍රමාද වී තිබෙන අතර එහිදී කටුනායක ගුවන් තොටුපොළෙන් අද උදෑසන ඉන්දියාවේ චෙන්නායි, හයිද්‍රාබාද්, බංග්ලාදේශයේ ඩකා සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානා මෙලෙස ප්‍රමාද වූ බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.  

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාද වීම සහ අවලංගු වීම නිසා මගීන් විසින් ගුවන් සේවකයන්ට බැනවැදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්  අද අලුයම මෙම ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න පැවසුවේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශාල සේවක හිගයක් පවතින බවත්, මේ වනවිට අත්දැකීම් සහිත පරිනත සේවකයින් විශාල වශයෙන් රට හැර ගොස් වෙනත් විදේශීය ගුවන් සේවාවන් සමග එක් වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

අත්දැකීම් සහිත පරිනත සේවකයින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත බදවා ගන්නා ලෙසත්, දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානාවලට ගැළපෙන පරිදි නව ගුවන් ගමන් කාලසටහනක් සකස් කරන ලෙසත් එමගින් ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් වළක්වා ගැනීමට හැකි වන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

මෙම ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා එළඹෙන සදුදා දින ශ්‍රී ලන්කන් පාලනාධිකාරය තමන් වෙත අවස්ථාවක් ලබා දී ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.