Saturday, November 30, 2024

General line - 0115112241

හරක් කටා තංගල්ලට - කුඩු සලිඳු බූස්සට

උදය කුමාර




ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා තංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණයේ පිහිටි  ත්‍රස්ත මර්දන කාර්යාංශය යටතේ ඇති රැඳවුම් කඳවුරේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ, දින 362ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කළ හරක් කටා රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී ඉන් පලායාමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව තංගල්ල පැරණි බන්ධනාගාරයේ එලෙස රඳවා තබන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කළේ.

මෙම සිද්ධියේ දෙවන විත්තිකරු වශයෙන් නම්කර ඇති මේ වනවිට අධිකරණය මඟ හැර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වූ රවිදු සංදීප නමැති විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළා.

නඩුවේ තුන්වන විත්තිකරු වශයෙන් නම්කර සිටින දිනේශ් සුරංග නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එහිදී නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ හරක් කටා නැමැති විත්තිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී එහි සිටි නිලධාරීන්ට පහරදී පලායාමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 22ක් යටතේ මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති බවයි.

මෙම පලායාමේ ප්‍රයත්නය ව්‍යාර්ථ වීමෙන් පසුව වෙනත් පුද්ගලයින් හා අවි ආයුධ යොදා ගනිමින් යළිත් එවැනි උත්සාහයක නිරත වී ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව සඳහන් කළ රජයේ නීතිඥවරයා මේ තුළින් විත්තිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට මෙන්ම ජාතික ආරක්ෂවට සහ මහජන සාමයට  තර්ජනාත්මක ආකාරයෙන් කටයුතු කර ඇති බවත් පෙන්වා දුන්නා.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවත් රජයේ නීතිඥවරයා පැවසුවා.

ඉන් අනතුරුව හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම අධි චෝදනා පත්‍රය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට විත්තිය අපේක්ෂා කරන බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම චෝදනා ගොනු කිරීමට හැකියාවක් තිබේදැයි කරුණු අධ්‍යයනය කර  වැඩිදුර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. 

සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීම සඳහා තම සේවා දායකයාට අනෙක් විත්තිකරුවන්ටද හිමි අයිතිවාසිකම හිමිවන බව සඳහන් කළ  නීතිඥවරයා ආරක්ෂක ලේකම්වරයා කුමන ආකාරයක නියෝග නිකුත් කළත් ඒවා සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් අධිකරණය විසින් නිකුත් කරනු ලබන නියෝග වලට යටත්ව ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන්නා.

ඒ අනුව සංජය ආරියදාස, අමිලා උදයංගනී, පුබුදු රන්දිම සහ බුද්ධික චන්ද්‍රසේකර යන නීතිඥවරු අතරින් එක් වරකට නීතිඥවරු දෙදෙනෙකුට විත්තිකරු හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දෙන ලෙස නියෝග නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ සතියේ දිනවල පෙරවරු 9.30 සහ පස්වරු 4.00 දක්වා කාල සීමාව තුළ විත්තිකරු විසින් නම් කරනු ලබන නීතීඥවරුන්ට ඔහු  හමුවී උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දෙන ලෙසයි.

එමෙන්ම හරක් කටා අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට යොමු කරන ලෙසත් ත්‍රස්ත මර්ධන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට නියම කළා.

ඉන් අනතුරුව නඩුව යළි අප්‍රේල් මස 26 වන දා කැඳවීමටද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

මැඩගස්කරයේදී පසුගිය මාර්තු මාසයේ නඳුන් චින්තක නොහොත් හරක් කටා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව ඔවුන් දිවයිනට රැගෙන ඒමට මෙරට ආරක්ෂක අංශ කටයුතු කළා. අත්අඩංගුවට ගත් පිරිස අතර සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳුද අයත්. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටි ඔහුද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා.

එහිදී පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ නියෝග කළේ සැකකරු මාර්තු 25වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව කුඩු සලිඳු බූස්ස බන්ධනාගාරයේ රැඳවීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවේ.