Monday, April 29, 2024

General line - 0115112241

මොස්කව් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව දැඩි තීරණ ගන්න රුසියානු අධිකරණය සැරසෙයි.




රුසියාවේ මොස්කව් අගනුවරට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකුට එරට අධිකරණය විසින් නඩු පවරා තිබෙනවා.

එම සැකකරුවන් මොස්කව් දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.

සැකකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදයට අදාළ නීති යටතේ දඬුවම් පැනවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව් දෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමට පියවර ගන්නා බවයි මොස්කව් දිස්ත්‍රික් අධිකරණය පවසා ඇත්තේ.

ඉකුත් සිකුරාදා මොස්කව්හි රඟහලකට එල්ල කළ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 182 දෙනෙකු තුවාල ලැබුවා.

ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් ජනතාව දෙසට වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව අත් බෝම්බ ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ප්‍රහාරයට සම්බන්ධ සහ ඊට අනුබල දුන් සැකකරුවන් 11 දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සිව් දෙනෙකු මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එම සැකකරුවන් අතරින් දෙදෙනෙකු මේ වනවිට වරද පිළිගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම අයි එස් අයි එස් සංවිධානය විසින් භාරගෙන ඇති පසුබිමක් තුළ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් චෝදනා කරන්නේ මෙම ප්‍රහාරය පිටුපස යුක්‍රේන රජයද සිටින බවයි. 

කෙසේවෙතත් යුක්රේන රජය පවසන්නේ තමන් කිසිවිටෙකත් යුධබිමේ පවතින ප්‍රශ්න පිටතට රැගෙන නොයන බවයි.