Saturday, April 27, 2024

General line - 0115112241

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

උදය කුමාර




මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන් යුතුවයි. 

එම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාල පෙත්සම් ඊයේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජූලි මස 24 වනදා කැඳවන ලෙසයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කිරීමේදී පාර්ලිමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් සංශෝධන ඇතුළත් කර නොමැති බවයි.

ඒ අනුව අදාල පනත් කෙටුම්පත සම්මත කළ ආකාරය සහ ඊට අත්සන් තැබීමට කථානායකවරයා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටත් තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.