Monday, May 20, 2024

General line - 0115112241

කතාබහක් මතු කළ දිඹුලාගල සෙල්ලිපිය යළි කියවීමේ තීරණයක්




ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමු වූ දීර්ඝතම සෙල්ලිපිය වන දිඹුලාගල පර්වතයේ පිහිටි සෙල්ලිපිය වාර්තාගත කිරීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් පැවසුවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය අර්ජුන තන්තිලක ඇතුළු කණ්ඩායමක්  නවීන තාක්ෂණය යොදා ගනිමින් එම කටයුතු සිදු කෙරෙන බවයි.

එම සෙල්ලිපිය කියවා පිටපත් කිරීම සඳහා මීට පෙර පත් කෙරුණු මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මගින් එය නැවත පිටපත් කිරීම ලබන මැයි මාසයේදී ආරම්භ කරන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියා. 

ඓතිහාසික දිඹුලාගල සෙල්ලිපිය කියවීමට සහ ඊට ශාස්ත්‍රීය දායකත්වය ලබා දීමට තවත් ප්‍රාමාණික විද්වතුන් පිරිසකට අවසර ලබා දෙන ලෙස විද්වතුන් කණ්ඩායමක් පසුගියදා පුරාවිද්‍යා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා, මහාචාර්ය රෝහණ සිරිවර්ධන ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතුන් ඇතුළු 25දෙනෙකු විසින් ලිපියක් මගින් ඉල්ලා තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය විද්‍යාකීර්ති රාජ් සෝමදේවයන්ගේද සහය ඊට ලබා ගන්නා ලෙසයි.

ඊට අමතරව එම විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසකට ඒ සඳහා අවස්ථාව උදා කරන ලෙසත් හැකි ඉක්මනින් එම සෙල්ලිපිය මහජන ප්‍රදර්ශනයට ඉඩ සලසන ලෙසත් එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.