Tuesday, April 30, 2024

General line - 0115112241

තෙවරප්පෙරුමගේ නිසල දේහය බලන්න ජන ගඟක් රෝහලට




අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදු කිරීමට නියමිතයි.

ඔහුගේ දේහය මේ වන විටත් කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය වාර්තා වූ මොහොතේ සිට ඔහුගේ පාක්ෂිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් රෝහලට සහ නිවසට පැමිණෙමින් සිටින බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

රෝහල් භූමියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාලිත තෙවරප්පෙරුම මහතාගේ ඥාති පුත්‍රයෙකු වන අරුන් තෙවරප්පෙරුම පැවසුවේ පෞද්ගලික ඉඩමක වැඩ කරමින් සිටියදී තෙවරප්පෙරුම මහතාට විදුලි සැර වැදී ඇති බවයි.


මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 64ක්. පසුගිය සමයේ සක්‍රීය දේශපාලනයට සම්බන්ධ නොවූවද ඔහු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව කටයුතු කළ සමයේ සිදු කළ ක්‍රියාකාරකම් සමාජයේ දැඩි කතාබහක් ඇති කළා.

පසුගිය සමයේ ඔහුගේ නම යළි සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වුණේ තමාගේම සොහොන තමා විසින්ම නිර්මාණය කළ සිද්ධියත් සමගයි.