Tuesday, April 30, 2024

General line - 0115112241

පුද්ගලයින් 09 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට




ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය  එළිෆන්ට් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් නව දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික තටාකාංගණය ආයතනය මඟින් පෙරේදා දින එළිෆන්ට් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් පරික්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී  වලංගු බලපත්‍ර නොමැතිව තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් නව දෙනෙකු සමඟ එම ඩිංගි යාත්‍රා දෙක සහ තහනම් ධීවර දැල් මෙලෙස නාවික හමුදා භාරයට ගත් බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා සිටියේ.

තවද, මෙම සැකකරුවන් අවුරුදු 22 ත් 54 ත් අතර වයසේ පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් නව දෙනා ඉදිරි නීතීමය කටයුතු සඳහා කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

ඩිංගි යාත්‍රා දෙක සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා තිබෙන බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා සිටියේ.