Monday, May 6, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ සභාපති පුටුවට ගිය විජයදාසටත් අධිකරණයෙන් වාරණයක්

උදය කුමාර




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මගින් අද වාරණ නියෝගයක් නිකුත් කළා.

එසේම, පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන දුෂ්මන්ත මිත්‍රපාල එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් ද තවත් වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර තිබෙන බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

වැඩබලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ද තවත් වාරණ නියෝගයක් එහිදී අධිකරණය නිකුත් කරනු ලැබුවා. 

ඒ, මහින්ද අමරවීර,  ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මැති ඇමතිවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝග නිකුත් කර ඇත්තේ මැයි මස 08 දක්වා බල පැවැත්වෙන පරිදියි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු නොවන බවයි.

ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන බවද නීතිඥවරයා සඳහන් කළා.