Saturday, May 4, 2024

General line - 0115112241

ඉරානයේ සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 05ක්




ලෝකයේම අවධානය දිනා ගනිමින් මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි සිය එක්දින නිල සංචාරය නිම කරමින් ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

ඔහුගේ සංචාරය අතරතුර දෙරට අතර ගිවිසුම් 05කටද ඊයේ රාත්‍රියේ අත්සන් තැබුණා.

ඒ, ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්.

මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය, සංචාරක, සමුපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ආවරණය කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඉරාන ජනාධිපතිවරයා පවසා තිබුණේ ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සුදානම් බවයි.

දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බවද ඔහු පැවසුවා.

ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණියේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අරමුණින්.

එම උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ඉරාන ජනාධිපතිවරයා කොළඹට පැමිණියා.

පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඔහු ද්විපාර්ශ්වික සාකච්ඡාවකද නිරත වුණා.

ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ලෝක දේශපාලනයේ අවධානයක් යොමු වූ සංචාරයක් වීමට හේතු වූයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර මේ වන විට මතුව ඇති යුධමය වාතාවරණයයි.