Friday, September 20, 2024

General line - 0115112241

ලොකු අම්මාගේ ‘දහ අට ලක්ෂයක් කොල්ල කෑ මෙහෙයුම’ පුතා සැළසුම් කළ හැටි



අම්බලන්ගොඩ නගර මධ්‍යයේ දී කාන්තාවකගෙන් රුපියල් දහඅට ලක්ෂයක් මංකොල්ලකෑම පෙරේදා (22) සිදුවූ අතර එහි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට ගතවූයේ පැය 24ටත් අඩු කාලයක්.

කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට දැනට හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුෂ්පා මෙන්ඩිස් නමැති මෙම කාන්තාව සිය වැඩිමහල් සොහොයුරිය පදිංචි බළපිටිය ප්‍රදේශයේ නිවසට පැමිණ ඇත්තේ අම්බලන්ගොඩ නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කර ඇති මුදල් ලබා ගැනීමටයි.

ඇය සිය සොහොයුරියගේ පුතා සමග පෙරේදා (22) පෞද්ගලික බැංකුවට ගොස් රුපියල් දහඅට ලක්ෂ හැටදහසක මුදල් ලබාගෙන තිබෙනවා.

එම මුදල අම්බලන්ගොඩ රජයේ බැංකුවක තැන්පත් කිරීමට ත්‍රිරෝද රථයකින් පැමිණ එය නතර කර පාර මාරු වන අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි අයෙක් ඇයට පිහියක් පෙන්වා බියකර මුදල් සහිත අත්බෑගය රැගෙන පලා යනු ලැබුවා.

මෙම මංකොල්ලකෑම තවත් මිතුරකු සමග සැලසුම් කර ඇත්තේ ත්‍රිරෝද රථයකින් ඇය සමග ගිය නෑදෑ පුත්‍රයාම බව ‍මේ වන විට හෙළිව තිබෙනවා.

කාන්තාව සමග බැංකුවෙන් මුදල් ලබා ගැනීමට ඇය සමග ගිය ඇගේ අක්කාගේ පුතා අම්බලන්ගොඩ ‍පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කිරීමේදී ‍පොලිස් නිලධාරීන්ට මුලිකවම සැකයක් ඇති වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ ගැන ඔහුගෙන් දිගින්දිගටම ප්‍රශ්න කිරීමේදී මංකොල්ලය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට  ‍පොලිසිය සමත් වුණා.

අදාළ කාන්තාව බළපිටියේ පිහිටි අක්කාගේ නිවසට පැමිණෙන බව මුලින් දැනුම් දී ඇති අවස්ථාවේ ඒ බව දැනගත් වැඩිමහල් සොහොයුරියගේ පුතා එම මුදල් මංකොල්ලකෑමට එතැන් සිට සැලසුම් කර තිබෙනවා.

ඔහු මේ බව තම මිතුරකුට පවසා යතුරුපැදියක් රැගෙන බැංකුව අසලට නියමිත දින නියමිත වේලාවට පැමිණෙන ලෙස දැනුම්වත් කර ඇති අතර මුදල් පැහැරගෙන පලා යා යුතු මාර්ගය පිළිබඳව ද උපදෙස් දී තිබෙන බවයි පැවසෙන්නේ.