Thursday, July 4, 2024

General line - 0115112241

කිසිදු කැපකිරීමක් නොකර විදේශ ණය සහන ලබා ගන්න බෑ - ජනපති පාර්ලිමේන්තුවේදී කියයි 




ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බවත් කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුමවලට අත්සන් තැබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියා.

මීට වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සිව් වැදෑරුම් වැඩ සැලැස්ම ඔස්සේ යමින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබෙන ආකාරය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දුන්නේ.

 ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇ. ඩො බිලියන 37ක් වන අතර එයින් ඩොලර් බිලියන 10.6ක් ද්වී පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 11.7ක් බහු පාර්ශ්වීය ණය වන බවත්,පෙන්වා දුන්නා.

තවද ඩොලර් බිලියන 14.7ක් වාණිජ ණය වන අතර එයින් ඩොලර් බිලියන 12.5ක් ස්වෛරී බැඳුම්කර වන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීද විවිධ අදහස් පළ කෙරෙන නමුත් එම ඇතැම් කරුණු සත්‍යතාවයෙන් තොර බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියා 

කිසිදු කැපකිරීමක් නොකර විදේශ ණය සඳහා සහන ලබා ගත යුතු බවට බොහෝ දෙනා යෝජනා කළත් එය ප්‍රායෝගික නොවන අතර ජාත්‍යන්තර පිළිවෙත්වලට අනුව එවැන්නක් සිදුකළ නොහැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ

මූලික ණය කපා හැරීමක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් සිදු ‍කර නොමැති බව ඇතැමුන් චෝදනා කළත්, නිල ද්වීපාර්ශ්වික ණය හිමියන් මූලික ණය මුදලෙහි කප්පාදුවක් කිසි විටෙක සිදු නොකරන අතර සහන ලබා ගත හැකි වන්නේ ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, ණය සහන කාලසීමා, පොළී අනුපාත අඩු කිරීම් ආදියෙන් බව ජනාධිපතිවරයා පවසා සිටියේ 

ඇතැමුන් තමන් බලය ලබා ගතහොත් මූලික ණය මුදලින් 50%ක් කපා හැරීමට ණය හිමි රටවල් සමඟ සාකච්ඡා කරන බව පැවසුවත් එම ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ.