Thursday, July 4, 2024

General line - 0115112241

විදෙස් ණය බර ගැන ජනපතිගෙන් මැති සබයේදී අනාවරණයක්




මෙරට විදේශ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 37ක් වන බවත් ඉන් ඩොලර් බිලියන 10යි දශම 06ක් ද්වි පාර්ශවීය ණය වන අතර ඩොලර් බිලියන 11යි දශම 07ක් බහු පාර්ශවීය ණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඩොලර් බිලියන 14යි දශම 07ක් වානිජ ණය වන අතර එයින් ඩොලර් බිලියන 12යි දශම 05ක් ස්වරී බැදුම්කර වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

අද පාර්ලිමේන්තුවේ දී ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

මූලික ණය කපා හැරීමක් සඳහා රජය ඉල්ලීමක් සිදුකර නොමැති බවට ඇතමුන් චෝදනා එල්ල කළ ද නිල ද්වි පාර්ශවික ණය හිමියන් මූලික ණය මුදලේ කප්පාදුවක් කිසිවිටෙක සිදු නොකරන බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

පවත්නා භූ දේශපාලන ප්‍රවණතා මධ්‍යයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ණය හිමි පාර්ශවයන් පොදු කොන්දේසි මාලාවකට එකඟ කර ගැනීම ඉතා අසීරු වූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා. 

ණය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතා මත ණය සේවාකරණ වියදම් කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීම කල් දැමිය හැකි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ඩොලර් බිලියන පහක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට එල්ල වන චෝදනාවලට ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.

ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් පළකළා.