Friday, October 18, 2024

General line - 0115112241

දඹුල්ල කණ්ඩායම පැරදූ යාපනය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට




එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් දඹුල්ල සික්සර් කණ්ඩායමට එරෙහිව ලකුණු 30ක ජයක් හිමිකර ගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගාවලියේ 08 වන තරගය ලෙස දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී මෙම තරගයක පැවැත් වුණා.

දඹුල්ල සික්සර් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසනායේදී කඩුලු 05ක් දැවී ලකුණු 218ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගුවා.

එහිදී සුපිරි පිති හරඹයක නිරත වූ පැතුම් නිස්සංක පන්දු 53කදී වේගවත් ලකුණු 88ක් රැස්කළ අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 30කදී ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වුණා.

දඹුල්ල සික්සර් කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් සහ ප්‍රමෝද් මදුෂාන් කඩුලු 02 බැගින් දවා ගත්තා.

ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල සික්සර් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 188ක් පමණි.

දඹුල්ල සික්සර් කණ්ඩායම වෙනුවෙන් රීසා හෙන්රිස් ලකුණු 80ක් රැස්කළා.

අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකර යෑමට ජැෆ්නා කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

මෙම තරගය ජය ගැනීමත් සමඟ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ යළිත් පළමු ස්ථානයට පැමිණියා.

මේ අතර කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කොළම්බු ස්ටයිකර්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 02ක ජයක් හිමිකර ගැනීමට කොළම්බු ස්ටයිකර්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළම්බු ස්ටයිකර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 199ක් රැස්කළා.

එහිදී කොළම්බු ස්ටයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් ග්ලේක් පිලිප් ලකුණු 70ක් සහ ඇන්ජලෝ පෙරේරා ලකුණු 38ක් ලබාගත්තා.

පන්දු යැවීමේ දී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 03ක් බිඳ හෙලුවා. 

ලකුණු 200ක ජයග්‍රාහී ඉල්ලකයක් හඹා ගිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 197ක් පමණයි.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් හැරිස් ලකුණු 56ක් සහ ඇන්ඩි්‍ර ෆ්ලෙවර් ලකුණු 47ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී කොළම්බු ස්ටයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 04ක් බිඳ හෙලුවා.