Friday, October 18, 2024

General line - 0115112241

ජනපති සටනෙන් ඉවත් වන්න - අමෙරිකානු ජනපතිට එරෙහි විරෝධය ඉහළ යයි




අමෙරිකානු ජනාධිපති සටනට ඉදිරිපත් වී සිටින වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ට ඔහු නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂයෙන්ම ප්‍රබල බලපෑමක් එල්ල වෙමින් තිබෙනවා.

ඒ, 2024 ජනාධිපති සටනෙන් ඉවත් වන ලෙස ඔහුට බල කරමින්.

ජනාධිපති සටනෙන් ඉවත් වන ලෙසට ජෝ බයිඩ්න්ට පක්ෂය තුළින්ම විරෝධයක් එල්ල වීම ආරම්භ වූයේ ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති විවාදයෙන් පසුවයි.

එහිදී ට්‍රම්ප් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී බයිඩ්න් අසාර්ථක වීම ඊට හේතු වුණා.

ඉන් අනතුරුව ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලඥයින්ම පැවසුවේ බයිඩ්න්ගේ වයස හේතුවෙන් ජනාධිපති සටනට ඉදිරිපත් වීමට ඔහු සුදුසු තත්ත්වයක නොමැති බවයි.

එහෙත් ඉකුත් සතියේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජෝ බයිඩ්න්, වයස හේතුවෙන් මතුවන ශරීර දුබලතා පිළිගත්තද ජනාධිපති සටනෙන් ඉවත් නොවන බවයි අවධාරණය කළේ.

පසුව ඔහුට එරෙහි විරෝධය යම්තාක් සමනය වුවද යළි ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් ඔහුට ජනපති සටනෙන් ඉවත් වන ලෙසට බල කරමින් සිටිනවා.

 ඒ අතරට ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන, හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනිද ඇතුළත්. 

මීට අමතරව ජ්‍යේෂ්ඨ ඩිමොක්‍රටික් දේශපාලඥයින් වන නැන්සි පෙලෝසි ද එම පිරිස අතරට අයත් වනවා.

අමෙරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව ජනාධිපති ජෝ බයිඩ්න්ට ජනාධිපති සටනෙන් ඉවත් වන ලෙසට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති ඩිමොක්‍රටික් දේශපාලඥයින් ගණන 09ක්. 

ඒ අතරට ආණ්ඩුකාරවරුන් මෙන්ම ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින්ද ඇතුළත් වීම කැපීපෙනෙන තත්ත්වයක්.

ඔවුන් බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නේ බයිඩ්න්ගේ සෞඛ්‍ය තත්ත්වයයි. 

ජනාධිපති ජෝ බයිඩ්න් මේ වන විට 81වන වියේ පසුවනවා.

යම්හෙයකින් එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඔහු ජයගතහොත් අමෙරිකානු ජනාධිපති ධූරයට පත් වන වයස්ගතම පුද්ගලයා ජෝ බයිඩ්න් වනු ඇති.