Sunday, September 8, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාව දැඩි කෙරේ




අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඔහුට එරෙහි ඝාතන කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක බවට තොරතුරු අනාවරණ කර ගැනීමත් සමගයි.

මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ ඉරානය විසින් බවටයි අමෙරිකානු ආරක්ෂක අංශ චෝදනා කරන්නේ.

මෑත කාලීනව අමෙරිකානු බුද්ධි අංශය වෙත ලද තොරතුරුවලින් මෙම ඉරාන ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි සඳහන්.

කෙසේවෙතත් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන ඉරානය පවසන්නේ එම චෝදනා ද්වේශ සහගත බවයි. 

ඉරානය සහ අමෙරිකාව අතර මතභේද ඉහළ යාමට බලපෑ ප්‍රධාන සිද්ධියක් වූයේ 2020 වසරේදී ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණ දෙන නිලධාරී කාසිම් සොලෙයිමානි අමෙරිකානු හමුදාව විසින් ඝාතනය කිරීමයි.

ඊට අදාලව ඉරාන අධිකරණයක් විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධකරුවෙකු ලෙසද නම් කරනු ලැබුවා.

ඔහුට දඬුවම් දීමට නීත්‍යානුකූල මාර්ගයක් තෝරාගෙන ඇති බැවින් ඝාතන කුමන්ත්‍රණයක් ගැන එල්ල වන චෝදනා පදනම් විරහිත බවයි ඉරානය පවසන්නේ.

අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර ඉකුත් සෙනසුරාදා එල්ල වූ වෙඩි ප්‍රහාරයක්ද එල්ල වුණා.

එම රැස්වීමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ බුද්ධි අංශ ට්‍රම්ප් පාර්ශවයට තොරතුරු දැනුම් දී තිබූ බවටයි මේ වන විට වාර්තා වන්නේ. 

කෙසේවෙතත් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය සහ ඉරානයේ ඝාතන කුමන්ත්‍රණය අතර සම්බන්ධයක් ඇත්දැයි අනාවරණය කර නැහැ.

මේ වන විට සිදු කර ඇති පරික්ෂණවලදී අනාවරණ වී ඇත්තේ වෙඩික්කරු වෙනත් කිසිදු පාර්ශවයක් සමග සබඳතා පවත්වා නොමැති බවයි.