Thursday, October 31, 2024

General line - 0115112241

බන්ධනාගාරගත සිරකරුවනුත් ඡන්දය දාන්න අවසර ඉල්ලයි

උදය කුමාර




ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණවලදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ, ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දීමට පියවර ගන්නා ලෙසට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අදාළ ආයතන වෙත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින්.

හිටපු රිමාන්ඩ් සිරකරුවකු වන සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු නව දෙනකු නම් කර තිබෙනවා.

තමාද ඉකුත් කාලයේ වසර කීපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම නිසා මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ බවත් මේ ආකාරයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතිවිශාල සැකකරුවන් පිරිසකට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි වී තිබෙන බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.