Thursday, October 31, 2024

General line - 0115112241

බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වා දෙන බව ජනපති කියයි 




තාවකාලිකව අත්හිටුවා තිබෙන පරාටේ නීතිය දිගුකලක් පවත්වාගෙන යාමට නොහැකි බවත්, එබැවින් බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරනු ලබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සම්මේලනය (Ceylon Federation of MSME) විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (19) සංවිධානය කර තිබූ “ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ජවයෙන් ආර්ථිකය පණගන්වන තීරණාත්මක ඇරඹුම” යන වැඩසටහනට එක්වෙමිනි. 

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“පසුගිය කාලය පුරා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වන ඔබ සියලු දෙනාගේම සිත තුළ බොහෝ ප්‍රශ්න තිබෙනවා. 

ඒ ප්‍රශ්න මොදවාදැයි ඔබ මතු කිරීමට පෙර ඊට හේතු වුණු පසුබිම පිළිබඳ සඳහන් කිරීමට මම අදහස් කළා. ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සිදුවන්නේ එම පසුබිම තුළයි. 

පසුගිය සමයේ රටේ ආර්ථිකය කඩා වැටුනා. 

ආර්ථිකය කඩාවැටීමත් සමඟ විශේෂයෙන්ම සුළු ව්‍යාපාර ඇතුළුව ව්‍යාපාර සියල්ල ද කඩා වැටීමට ලක්වුණා. 

ක්ෂුද්‍ර ව්‍යාපාර සියල්ලම සම්පූර්ණයෙන්ම නැතිව ගියා. 

බැංකු පද්ධතිය ද අවදානමට ලක්වුණා. 

ඒ නිසා ආණ්ඩුව භාරගත් පසු අපගේ පළමු වගකීම වුණේ ස්ථාවරභාවයක් ඇතිකරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර බංකොලොත්භාවයෙන් මිදීම සඳහා කටයුතු කිරීමයි. 

ඒ අවස්ථාවේදී අපට ණය දුන් රටවල් සියල්ලම සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යොමුවන ලෙසයි. 

එවිට එකඟතාවකට පැමිණ ඉදිරි කටයුතු සිදුකළ හැකි බවත් ප්‍රකාශ කළා. 

නිල ණය හිමියන් සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසුව එම රාමුව සමඟ කටයුතු කල හැකි බව පුද්ගලික ණය හිමියන්ද අපට ප්‍රකාශ කළා. 

මුදල් සහ ආධාර ලැබෙන්නේ නැතිනම් අපට කිසිවක් සිදු කළ නොහැකියි. 

ඒ අවස්ථාවේදී අපට මූලික කාරණා කිහිපයකට එකඟවීමට සිදුවුණා. 

ඒ අනුව අනාගතයේ මුදල් මුද්‍රණය නොකිරීමටත්, බැංකුවලින් ණය ලබා නොගැනීමටත් අපට තීරණය කරන්න සිදු වුණා. 
බැංකුවල ද බොහෝ ප්‍රශ්න තිබුණා. අපගේ ප්‍රධාන ආදායම් බවට පත්ව තිබුණේ ද මේ ක්‍රමවේදයන් දෙකයි. 

අප ගමන් කළ මෙම වැරදි මාර්ගයෙන් ඉවත් වන ලෙසත්, අලුත් මාර්ගයකට අවතීර්ණ වන ලෙසත් ඔවුන් වැඩිදුරටත් දැනුම්දුන්නා. 


ඒ අනුව අප නිවැරදි මාර්ගයට අවතීර්ණ වුණා. එහිදී ආදායම් උපයාගැනීම සඳහා සමහර සංස්ථාවලට දෙනු ලබන සහනාධාර ඉවත් කිරීමට සිදුවුණා. 

ඇතැම් සංස්ථාවලට අප වසරකට රුපියල් මිලියන 700ත් 800ත් අතර අගයකින් සහනාධාර ලබාදී තිබුණා. ඒ සහනාධාර සඳහා මුදල් ගෙවනු ලැබුවේ මේ රටේ ජනතාවයි. 

ඒ නිසා අපට එය නතර කිරීමට සිදුවුණා. ඒ අවස්ථාවේදී ඉන්ධන ඇතුළු මේ භාණ්ඩ මිල ඉහළ යාමට පටන් ගත්තා. 

එයින් ලැබුණු ආදායම ද ප්‍රමාණවත් නොවූ නිසා අපට වැට් බද්ද ඉහළ නැංවීමට සිදුවුණා. මේ වන විට රටේ ආර්ථිකය අපගේම මුදලින් පවත්වාගෙන යනු ලබනවා. 

අප වෙත බරක් පැටවුණු තිබුණ නමුත් අපට එය දැරීමට සිදුවුණා. ඔවුන් අපගේ බර භාරගැනීමට පෙර අප අපගේ බර භාරගනිමින් වගකීමක් ගත හැකි බව පෙන්වන ලෙස ලෝකය අපට දැනුම් දුන්නා. 

අප ආරම්භ කලේ එතැන් සිටයි. 

අවසානයේ අපට අපගේම මුදලින් රාජ්‍ය සංස්ථා සියල්ලම නිසි අයුරින් කළමනාකරණය කිරීමට කටයුතු කළා. 

ඒ නිසා ලෝකයේ සිදුවන ආකාරයට අඩු වැඩි වන ඉන්ධන මිලක් අපට ලැබී තිබෙනවා. 

සමහර වියදම් ඉවත් කිරීම මඟින් ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව පවතිනවා. 

බලශක්ති මිල ද එසේමයි. 

වෙළෙඳපොළ හා සම්බන්ධව තවත් දේ තිබෙනවා. 

අකාර්යක්ෂමතාවන් (Inefficiencies) සියල්ලම ලබන වසරේදී ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 

අප ආර්ථිකය සකස් කල පසු ඉදිරියට යාමට හැකිවෙනවා. 

නමුත් බැංකු පද්ධතිය ද ආරක්ෂා කළ යුතුයි. 

බැංකු අතරින් රජයේ බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු බැංකු සඳහා යළිත් ප්‍රාග්ධනය ලබාදීමට අපට සිදුවුණා. 

ඒ සඳහා අප සතු මුදල්වලින් කොටසක් යෙදවීමට සිදුවුණා. 

පුද්ගලික බැංකුවලට ද එසේ කිරීමට සිදුවුණා. අපට ඉදිරියට යා හැක්කේ බැංකු ක්‍රමය ආරක්ෂා කිරීමෙන් පමණයි. 

ඒ වගේම අප ලබාදෙන සහනාධාර ප්‍රමාණවත් නොවන බවත්, නිවැරදි පුද්ගලයින් අතට සහනාධාර ලබාදිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ප්‍රකාශ කළා.

ඒ අනුව අප අස්වැසුම වැඩසටහන ආරම්භ කළා. අස්වැසුම හරහා සමෘද්ධි ව්‍යාපාරය මඟින් ලබාදුන් මුදල මෙන් තුන්ගුණයක මුදලක් ලබාදෙනවා. 

ප්‍රතිලාභීන් ලක්ෂ 18කට ලබාදුන් සමෘද්ධිය වෙනුවට අප දියත් කළ අස්වැසුම වැඩසටහන යටතේ ලක්ෂ 24කට ප්‍රතිලාභ ලබාදෙනවා. අඩු ආදායම්ලාභීන්ට ආධාර ලබාදීමේ මූලික වැඩසටහන වූයේ එයයි. 

මම ක්‍රියා කරන්නේ අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කරමින්, විශාල ව්‍යාපාර ඉදිරියට ගෙන යන අතරම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ද ශක්තිමත් කිරීමටයි. 

පළමුවෙන්ම උරුමය වැඩසටහන හරහා ලක්ෂ 20ක ජනතාවකට සින්නක්කර ඔප්පු ලබාදීම මඟින් ඉඩම් අයිතිය ලබාදීමට අප ක්‍රියා කරමින් සිටිනවා. 

එම වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් වීමට වසර තුනක් හෝ හතරක් ගතවිය හැකියි. එමඟින් ඉඩම් අයිතිකරුවන් ලක්ෂ 20ක් ඇතිවෙනවා.

 200,000කට පමණ නිවාස අයිතිය ලබාදීම ද අප ආරම්භ කර තිබෙනවා. 

වතුකරයේ ගම්මාන ඇති කරනවා. ඒ සඳහා ද අප ඉඩම් සහ නිවාස අයිතිය ලබාදෙනවා. 

මේ යටතේ ලක්ෂ 20ත් 25ත් අතර ජනතාවකට අලුතින් “අයිතිය” හිමිවෙනවා. මේ ආකාරයට සෑමවිටම ජනතාවට අයිතිය ලබාදීමට අප ක්‍රියාකරමින් සිටිනවා. 


පළමුවරට අප බිම් මට්ටමේ අයිතිය ලබාදීමට කටයුතු කරනවා. මේ ඉඩම් ලබාදීමේදී කෘෂිකර්මාන්තයට යොදවන ඉඩම් තිබෙනවා. 

නමුත් දුප්පත්කම පවතින්නේ ගම්මාන තුළයි. ඒ නිසා කෘෂි නවීකරණය ගමට ගෙන යනවා. ඒ හරහා ග්‍රාමීය ප්‍රදේශවල මුදල් සංසරණය වැඩිවෙනවා. “අයිතිය” වැඩිවෙනවා, බැංකු ගිණුම් ප්‍රමාණය ද වැඩිවෙනවා, එක් එක් පුද්ගලයා සතු මුදල් ප්‍රමාණය වැඩිවෙනවා. 

මේ පිරිසට අධාර උපකාර කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඔවුන් සමඟ ඉදිරියට යාමට හැකියි. පවතින රාමුව තුළ අපට මේ වැඩකටයුතු සිදු කිරීමට තිබෙනවා. 


මේ වන විට අප පරාටේ නීතිය අත්හිටුවා තිබෙනවා. 

නමුත් එය හැමදාටම අත්හිටුවා තැබීමට නොහැකියි. ඒනිසා අප බංකොළොත්භාවය (Insolvency) පිළිබඳ පනත් කෙටුම්පතක් අලුතින් හඳුන්වාදීමට කටයුතු කරනු ලබනවා. අප දැන් එය ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔබට එහි පිටපතක් ලබා දීමට හැකියි. පළමුව ඔබ ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න. එහි ප්‍රතිව්‍යුහගතකරණ පිළිබඳව කොටසක් ද අන්තර්ගත වෙනවා. 


ඒ වගේම අප අපනයනය සඳහා ද යොමු විය යුතුයි. ඒ සඳහා අප “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් බිහිකරනු ලබනවා. 

එයින් ඔබට අවශ්‍ය ආධාර සහ උපකාර ලබා දෙනු ඇතියි. ඒවගේම අප ජාතික සංවර්ධන බැංකුවක් ද පිහිටුවනවා. මේ සියල්ල එකවර සිදු කළ නොහැකියි. 

ආර්ථිකය දියුණු වීමේදී අප මෙම කටයුතු ද ක්‍රමානුකූලව සිදුකරනවා. 

මේ පසුබිම තුළ ඔබේ ප්‍රශ්න ද සාකච්ඡා කළ හැකියි.

 එහිදී ඔබ මේ සම්බන්ධව විශේෂඥ දැනුම් ඇති පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සූදානම් වනවා නම් මෙම මස අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ඔවුන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මා අවස්ථාව සලසා දිය හැකියි.

පළමුවෙන්ම මේ සියල්ල ගෙන ඔබ අතර සාකච්ඡා කරන්න. නීතියෙන් ලැබෙන සහන මොනවාද? කෙටුම්පතෙහි දැක්වෙන සහනවලට අමතරව තවත් සහන අවශ්‍ය ද? වැනි මේ සියලු කාරණා පිළිබඳ සාකච්ඡා කර ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න.  

නීතිය පිළිබඳ රජය සමඟ සාකච්ඡා කළ හැකියි. 

නමුත් ඊට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාව සිදු කරමු. ඔබට සහාය වීමට මම අමාත්‍යාංශයේ වෙනම නිලධාරීන් කිහිපදෙනෙකු ද පත් කරන්නම්. අප ඔබට උපකාර කිරීමට සූදානම්.”