Thursday, October 31, 2024

General line - 0115112241

ඊශ්‍රායලය, ඉරානයේදී හමාස් ප්‍රධානියා ඝාතනය කරයි




හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හානියේ ඝාතනය කර තිබෙනවා.

ඒ, ඉරානයේ ටෙහෙරාන් නුවරදීයි.

හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය විසින් තම නායකයා ඝාතනය කර ඇති බවයි.

එහෙත් ඊශ්‍රායලය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

හමාස් සංවිධානයේ ප්‍රධානියා ඉරානයට ගොස් තිබුණේ එරට නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට සහභාගි වීම සඳහායි.

හමාස් ප්‍රධානියා ඝාතනය කළ සිද්ධියේදී ඔහුගේ ආරක්ෂකයෙකුද මිය ගොස් ඇති බව ඉරානය තහවුරු කර තිබෙනවා.

මෙම ඝාතනය හේතුවෙන් මැද පෙරදිග යුද උණුසුම තවත් තීව්‍ර වනු ඇති බවට මේ වන විටත් මත පළ වී අවසන්.

හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හානියේගේ ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණ වුණේ හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යේෂ්ඨතම අණ දෙන නිලධාරි ෆුවඩ් ෂුක්ර් ඝාතනය කළ බවට ඊශ්‍රායලය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් යාමට පෙරයි.

කෙසේවෙතත් හිස්බුල්ලා සංවිධානය තම ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ මරණය මෙතෙක් තහවුරු කර නැහැ.

හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියා ඝාතනය කර ඇත්තේ ලෙබනනයේ අගනුවර වන බේරුඩ්හිදීයි. 

කෙසේවෙතත් ඊශ්‍රායලය සිදු කළ මෙම ආක්‍රමණකාරී ප්‍රහාරය ලෙබනනයේ අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.