Wednesday, January 15, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ අරුණට ඔලිම්පික් බිමේදී අවාසනාවන්ත සිද්ධියක්




2024 පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ ඔලිම්පික් තරඟ බිමට පිවිසියේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට සහභාගී වීමේ අරමුණින්.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ රාත්‍රී 11.05ට පමණ මෙම ධාවන තරඟය පැවැත්වුණේ සුවහසක් ශ්‍රී ලංකා ක්‍රීඩා ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයක් දිනා ගනිමින්. 

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට එහිදී හිමි වූයේ 05වන ස්ථානයයි.

ඒ අනුව ඔහුට ඔලිම්පික මීටර් 400 ඉසව්වේ අවසන් මහා තරඟයට පිවිසීමේ බලාපොරොත්තුව බිඳ වැටුණා.

ඔහු ලෝකප්‍රකට ධාවකයින් සමග උරෙන් උර තරඟ වදිමින් තරඟය නිම කළේ තත්පර 44යි දශම 7යි 5කින්.

එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය වීමද විශේෂත්වයක්.

අරුණ දර්ශන වාර්තා කළ කාලය ශ්‍රී ලංකාවේ මීටර් 400 ධාවන ඉසව්වේදී වාර්තා වූ දෙවන හොඳම කාලයයි.

ඔහුගේ මෙම දක්ෂතාව දෙවනි වූයේ සුපිරි ධාවන ශූර සුගත් තිලකරත්නට පමණයි. 

කෙසේවෙතත් තරඟය අවසානයේ ඔලිම්පික් තරඟ සංවිධායකයින් තීරණය කළේ අරුණ දර්ශන සහභාගි වූ තරඟයෙන් ඉවත් කිරීමටයි. 

ඒ, ධාවන මංතීරු නීතිය උල්ලංඝනය කිරීම බවටයි දැනුම් දී ඇත්තේ.

ඒ අනුව ඔහුගේ දක්ෂතාවද අවලංගු වනු ඇති.

කෙසේවෙතත් අරුණ දර්ශනට ලෝක ශූරතා මළලල ක්‍රීඩා උළෙලට සහභාගී වීමට අවස්ථාව හිමි වනු ඇති බවටයි වාර්තා වන්නේ.