Friday, September 13, 2024

General line - 0115112241

අද ජවිපය හමුදා නිලධාරීන් හිස මුදුනේ තියන් ගියත් එදා ඔවුන්ට එරෙහිව LTTE ය සමග කුමන්ත්‍රණ කළා




එදා LTTE සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා සිදු කිරීමට ගිය ව්‍යසනය නවතා දමමින් අප රටේ හමුදාව යුද ජයග්‍රහණයේ ආරම්භය ලබාගන්නා අවස්ථාවේදී ඒ සියල්ල විනාශ කර දැමීමට 2017 වසරේදී ලාල්කාන්ත ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ  කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ "විරු පවුර - සමගි ජනරජයක් වෙනුවෙන්.." යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සංවිධානය කර තිබූ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් හා සිවිල් ආරක්ෂක විශ්‍රාමික නිලධාරීන් ඇගයීමේ වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා:

"ඔබතුමාලට මේ යුද්ධයේ කතාව කියන්න ඕන නෑ. යුද්ධයේ කතාව ඔබ හැමෝම ජීවමානව අත්දැකලා තියෙනවා. 

මේ ගැටුම සෑහෙන කාලෙක ඉඳන් තිබිච්ච දෙයක්. 

ඒ දේශපාලකයා මේ ගැටුම තේරුම් ගත්තේ නැති නිසාත්, විදේශ මැදිහත්වීම් නිසා මේක දික් ගැහිච්ච ප්‍රශ්නයක් බවට පත්වුණා. 

මේ ගැටුම මට පෞද්ගලිකව තීරණාත්මකව දැනුණේ 1990 දශකයේ අන්තිම බාගෙදී. LTTE ය කොළඹ විශාල පිපිරීම් ගණනාවක් කළා.

නමුත් සාමයේ නාමයෙන් කියලා ඒවා ඉවසා වදාර සිටින තත්ත්වයක් අපේ ආණ්ඩු ගෙන ගියා.

 LTTE ය තහනම් වුණේ දළදා මාලිගාවට පහර දීපු අවස්ථාවේදී. බොහෝ දෙනෙක් හිතුවා  සිංහල මිනිස්සු, දෙමළ ජනයාට හින්දු කෝවිල් වලට හිරිහැර කරයි කියලා. 

අපි චන්ද්‍රිකා මැතිණියගෙන් ඒ වෙලාවේ ඉල්ලා හිටියා LTTE ය වහාම තහනම් කරන්න තවත් ගනුදෙනු කරන්න ඉඩ තියන්න එපා කියලා. එදා තමයි එතුමිය ඒක තහනම් කළේ. මහා දැවැන්ත භික්ෂු පෙළපාළියක් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් සිදු කරලා. 

එංගලන්තේ අපේ ජනතාව සංවිධානය කරලා Tony Blair ට බෑ කියලා විශාල කැම්පේන් එකක් ගෙනිච්චා. ඇමරිකා එක්සත් ජනපදයේත් ගෙනිච්චා. 

ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි එංගලන්තෙයි, ඇමරිකා එක්සත් ජනපදයෙයි, LTTE තහනම් වුණේ. ඒකෙන් LTTE ය සුළු ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් තියෙනවායි කියලා කියපු පිළිගැනීම නැතිවෙලා, ත්‍රස්තවාදී සංවිධානයක් බව හුඟාක් රටවලට අවබෝධ කරවන්න අපේ ජනතාවට පුළුවන් වුණා.

1999 යේදී වන්නියේ සිදු වෙච්ච විශාල පසුබැසීමත් එක්ක අපට තේරුණා දැන් මේ යුද්ධය ඉතාමත්ම තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා කියලා. චන්ද්‍රිකා මැතිණිය ඉන්දියාවේ නාවුක හමුදාවෙන් උදව් ඉල්ලුවා යාපනයේ හිර වෙලා හිටපු අපේ තිස් දහසක පමණ සෙබළු කොළඹට ගෙන එන්න. 

රොහාන් දළුවත්ත මහත්තයා හිටියේ ප්‍රධානියා හැටියට. ඒ වගේම මතක ඇති ඇන්ටන් බාලසිංහම් ප්‍රකාශයක් කරා මිනී පෙට්ටි තිස්දාහක් ලෑස්ති කරගන්න කියලා 2000 දී. 

අලිමංකඩ කඳවුර බිඳ වැටිලා අපේ හිටපු ප්‍රධන මේජර් ජෙනරාල්තුමාවත් ඝාතනය කරලා යාපනය දෙසට වේගයෙන් LTTE ය ගමන් කරමින් හිටියා. 

ලොකු සටනක් අපිට කොළඹ ගෙනියන්න සිද්ධ වුණා. යම් යම් රටවල් උපකාර කළා. මල්ටි බැරල්, රොකට්,  හම්බුන නිසා LTTE ය, මුහමාලෙයි කලාපයේ නවත්තගත්තා. 

ඊට පස්සේ අපි කල්පනා කළා, දැන් මේකට දේශපාලන නායකත්වයක් ඕනේ. තනියෙන් අපි කිහිපදෙනෙකුට මේ උද්ඝෝෂණ කරලා කරන්න බැහැ. ඒ අනුව තමයි අපි, මහින්ද රාජපක්ෂ ඒ බලයට පත් කරන ක්‍රියාවලියට එකතු වුණේ. මේජර් ජෙනරාල් එම්. ඩී ෆනෑන්ඩු  වගේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ගණනාවක් විශ්වාස කළා මේක දිනන්න පුළුවන් කියලා.

මහින්ද රාජපක්ෂ පත්වෙනකොට ජෙනරල් සරත් ෆොන්සේකා හමුදාපති කරා. ගොඩාක් විරෝධතා ආවා. මහින්ද මහත්තයත් එච්චර කැමති වුණේ නෑ. නමුත් අපි දැනන් හිටියා මේකට යම් ස්ථිර නායකත්වයක් ඕනැයි කියලා. නමුත් සාමය දිගටම කරගෙන ගියා. 

මහින්ද මහත්තයත් ජිනීවා වල ගිහිල්ලා අරෙහෙ මෙහෙ ගිහිල්ලා LTTE යත් එක්ක පරණ නැටිල්ලම නට නට ගියා ඔය ටිරාන් අලස්ලා එහෙම අල්ලගෙන. ඒ වෙලාවේ තමයි එදා ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයාගේ ඝාතන තැත සිදුවුණේ. 

අපි ගිහිල්ලා ඉල්ලීමක් කරා මහින්ද රාජපක්ෂගෙන් තමන්ගේ හමුදාපතිට ගහලා තියෙන වෙලාවේ තව මොකක්ද බලන් ඉන්නේ? දැන් යුද්ධ ප්‍රකාශ කරන්න කියලා. 

එතුමා ඒක කළේ නැහැ. එතුමා සාමය ගැන තද විශ්වාසයක හිටියේ. ජාතියේ වාසනාවට සරත් ෆොන්සේකා මහත්තයා ඒකෙන් ගැලවිලා නැවත සුවපත් වුණා. අපි දැනගත්තා අපිව රවට්ටලා ඉදිරියට යන ක්‍රියාමාර්ගයක් තමයි මහින්ද මහත්තයත් කරන්න යන්නේ කියලා.

 ඊළඟ අවස්ථාව තමයි ත්‍රිකුණාමලයේ මාවිල්ආරු සොරොව්ව වහපු එක. ඒ අනුව තමයි ඒ කාලේ අපේ පක්ෂේ, අතුරලියේ රතන හාමුදුරුවෝ, වර්ණසිංහ මහත්තයලා, එහෙම කණ්ඩායම එහෙ ගිහිල්ලා ඒ ප්‍රශ්නය මහජන උද්ඝෝෂණයක් බවට පත් කළේ. 

ඊට පස්සේ තමයි සටන ආරම්භ වුණේ. සටන ආරම්භ කළේ ජෙනරාල් ප්‍රසන්න සිල්වා. දැන් වටෙන් පිටෙන් අපි ජය ලබාගෙන එන කොට අපිව වට්ටන්න වැඩපිළිවෙළක් ගෙනිච්චා. 

වෙන කවුරුවත් නෙවෙයි අද රණවිරුවෝ කැන්දගෙන, ලොකු කතා පවත්වන අනුර දිසානායක. 2017 දී, කුමන්ත්‍රණයක් කරා. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් හා රනිල් වික්‍රමසිංහ මහත්තයයි, 

ඒ වගේම, ඔය LTTE සංවිධානයට අනුබද්ධ, කණ්ඩායම් කිහිපයකුයි. නැගෙනහිර පළාත සුද්ද කරගෙන උතුරේ සිලාවතුරට බැස්සා විතරයි, මෙන්න පටන් ගත්තා පාර්ලිමේන්තුව අස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ගය. 

අද අපිට කතා පවත්වනවා විජිත හේරත්ලා පිල් මාරු කරනවා කියලා. ලොකුම පිල් මාරුව කළේ ජාතියේ සතුරොත් එක්ක එකතු වුණේ එදා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්ලා, අනුර දිසානායකලා. 

ඒ කුමන්ත්‍රණය සාර්ථක වුණා නම් එදා ඔය යුද්ධය කවදාක්වත් ඉදිරියට යන්නෑ. ආයෙත් පටන් ගන්නවා සාම සාකච්ඡා. ලාල්කාන්ත, සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳෙව්වා ආණ්ඩුව වට්ටන්න. දකුණේ සමස්ත මහා වැඩවර්ජනයක් හැදුවා LTTE යට පක්ෂපාතී. 

අපේ ජනතාව ඒක පරාජය කළා. ජනතාව ඒගොල්ලන්ව දේශපාලන වශයෙනුත් ඊළඟ මැතිවරණයේදී පරාජය කළා. මේ එළියේ රණවිරුවෝ ගැන කතා කරන අය ඉතාම භයානක දේශපාලන සූදුවක් කරගෙන යනවා. 

මේ අය රටට එරෙහිව කැරලි ගහපු අය. වෙන රටවල් වල නං රටට එරෙහිව කැරලි ගහපු අයට ඡන්ද අයිතියක් නෑ. දැන් කිසිම දෙයක් ඒගොල්ලෝ කරලා නැති ගානට කතා පවත්වන්න පුළුවන්. 

මොකද පරීක්ෂණයක් කරලා විධිමත් අධිකරණමය ක්‍රියාමාර්ගයක් අරගත්තේ නැති නිසා. නැවත මේ රට එතෙන්ට ගමන් කළ යුතු නෑ. පාර්ලිමේන්තුව අබියසට ගිහිල්ලා කිව්වා මේක ගිනි තියමු එන්න කීවට අද වෙනකන් කිසිම පොලිස් පරීක්ෂණයක් පවත්වලා නෑ. 

පාර්ලිමේන්තු සිද්ධිය වෙලාවෙදිත් රට අවසාන වශයෙන් ගලෝගත්තේ ආරක්ෂක අංශ. ඒ ආරක්ෂක අංශ මැදිහත් වුණේ නැත්නම් ඒ අවස්ථාවට පාර්ලිමේන්තුවත් ගිනි තියලා ඉතාම භයානක අරාජික රටක් මේ රටේ ඇති වෙනවා."