Wednesday, January 15, 2025

General line - 0115112241

රුසියානු ප්‍රහාරයෙන් යුක්‍රේනයට සිදු වූ හානි හෙළිවෙයි




යුක්‍රේනයට රුසියාව විසින් එල්ල කළ දරුණු ප්‍රහාරයෙන් සිදු වූ හානි පිළිබඳ මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.

ප්‍රහාර එල්ල වූයේ මධ්‍යම යුක්‍රේනයේ පොල්ටාවා නගරයටයි. හමුදා ඇකඩමියක් සහ රෝහලක් ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණා.

එම ඉලක්ක වෙත රුසියාව එල්ල කර තිබුණේ මිසයිල ප්‍රහාර මාලාවක්.

මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව ප්‍රහාරවලින් පුද්ගලයන් 51 දෙනෙකු මියගොස් තවත් 271 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයන් ද මිය ගොස් ඇති බවයි යුක්‍රේනයේ හමුදාව තහවුරු කර ඇත්තේ.

ඉතා කෙටි වේලාවක් තුළ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වූ බව ඇසින් දුටුවන් පවසා තිබෙනවා.

ගුවන් ප්‍රහාරයට පෙර අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වුවද ජනතාවට ඉවත් වීමට වේලාවක් නොතිබූ බවයි ඔවුන් පවසන්නේ. 

ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසන්නේ ප්‍රහාරයට එරෙහිව රුසියාව සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි.

මීට වඩා ප්‍රබල ගුවන් ආරක්ෂක පද්ධතියක් තම රටට ලබා දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

කෙසේවෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.