Friday, November 29, 2024

General line - 0115112241

 ජනපති රට නැවත යථා තත්වයට පත් කරන්න සම්පූර්ණයෙන්ම භාවිතා කළේ බුදුදහම බව වජිර කියයි 




තම නිවස ගිනි ගන්නා විට රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවකට අගමැති ලෙස කිසිඳු බයකින් සැකයකින් තොරව ඒ ප්‍රශ්නයට බුදුදහම අනුව මුහුණ දුන් බවත් ඒ අනුව රට නැවත යථා තත්වයට පත් කරන්න සම්පූර්ණයෙන්ම භාවිතා කළේ බුදුදහම බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා 

ඔහු මේ බව පවසා සිටියේ  මාතර සණස ශ්‍රවණාගාරයේ පැවැති දකුණු පලාත් සංඝ සම්මේලනය අමතමින්. 


පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සංඝ සම්මේලනය අමතමින් පවසා සිටියේ මෙවැන්නක් 

" වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගිනි ගත්ත රට නිවන්න සම්පූර්ණයෙන්ම භාවිතා කළේ මගේ කල්පනාවේ හැටියට බුදුදහමයි.  

ජූලි මාසයේ 9 වෙනිදා එතුමන්ගේ නිවස ගිනි ගන්නා විට මට මතකයි එතුමාගේ ආරකෂක අංශ කිව්වා මෙතැනින් ඉවත්වෙන්න කියලා. 

මම දැක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවකට අගමැති ලෙස කිසිඳු බයකින් සැකයකින් තොරව ඒ ප්‍රශ්නයට බුදුදහම අනුව මුහුණදීපු ආකාරය. 

එතුමා උදෑසන ඒ ගිනිදැල් දිහා බලන්නෙවත් නැතිව මේ රටේ සුවහසක් ජනතාවගේ ගිනිදැල් නිවන්න කටයුතු කළ ආකාරය. 

මට ඒ වගේම මතකයි එතුමන්ට ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න තැනක් නොමැතිව කොළඹ ස්ථාන කිහිපයක් නම් කරලා උදාහරණයක් විදිහට නගර ශාලාවේ දිවුරුම් දෙනවා කියලා, අග්‍රවිනිශ්‍යකාරයගේ ගෙදර දිවුරුම් දෙනවා කියලා, තවත් මේ වගේ ස්ථාන කිහිපයක් නම් කරලා මුළු කොළඹටම ආරක්ෂාව සපයලා තියෙද්දී ජනාධිපතිතුමන්ගේ නිවස ආසන්නයේ තිබෙන විහාරස්ථානයට අග්‍රවිනිශයකාරතුමන් ගෙන්වාගෙන දිවුරුම්දීලා කලින් සඳහන් කරපු ස්ථාන මග හැරලා වැඩ බලන ජනාධිපති ලෙස 14 වෙනිදා දිවුරුම් දෙනවා. 

කොහේහරි දිවුරුම් දුන්නොත් ඒ දිවුරුම්දෙන තැන පුළුස්සනවා කිව්වා. 

මට මතකයි 14, 15, 16, 17, 18, 19, 20. මගේ නිවසට පැමිණෙන දෙස් විදෙස් නියෝජිතයින් ඒ අය මගෙන් එක ඉල්ලීමක් කළා. 

ඒ තමයි රනිල් වික්‍රමසිංහ අතහරින්න. වෙන ඕන කෙනෙක් තෝරගන්න. එයාට අපි උදව් කරමු කිව්වා. 

ඒ වෙලාවේ මම හිතුවා මේ අයට දෙන්න ඕන රනිල් වික්‍රමසිංහමයි කියලා. 

මට මතකයි 20 වෙනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන ඡන්දය. 

විවිධ බාධක මැද පාර්ලිමේන්තුවේ සිටි 134 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ව 8 වන විධායක ජනාධිපති ලෙස තෝරා පත් කරගන්නවා. 

ඒ ගිනි ගෙන දැවෙන රට නිවන්නයි. එතැනින් පස්සේ මේ ගෙවෙන අවුරුදු දෙක තුළ රට නිවීමේ අභියෝගයට මුහුණදෙමින් සිටිනවා. 

මට මේ ගැන තිබෙන දේශපාලන පළපුරුද්ද අනුව, මම දේශපාලනඥයෙක්. මම වෙනත් බිස්නස් කරන්නේ නැහැ. 

මම විශ්වවිද්‍යාලයෙන් එළියට ආව දවසේ පටන් කළේ දේශපාලනය. 

මට මතකයි ලක්ෂ්මන් යාපාත් මමත් 87, 88 භීෂණය අවස්ථාවේ දකුණු පළාත් සභාව නියෝජනය කරනවා. 

අපිට වෙඩි හඬ හොඳට පුරුදුයි. වෙඩි හඬක් ඇහුණු පළියට අපි දුවන්නේ නැහැ. ඒ කාලේ දකුණු පළාත් සභාව රැස්වුණේ ගාල්ල නගරසභාවේ. 

ටවුන් හෝල් එකට එක පාරක් කිලෝ සීයක පමණ බෝම්බයක් තිබ්බා. 

ගාල්ල නගරශාලාවේ වහළය ගලවගෙන බිමට වැටුණා. 

ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වහළ කඩාගෙන වැටුණා. 

ඒ අවට තිබුණු හින්දු කෝවිලේත් වහලය කඩාගෙන වැටුණා. ඒ අවට තිබුණු වාහන සියල්ලක්ම කුඩු වුණා. 

එදත් ඒ ප්‍රශ්නය අපේ සමාජය තුළ දීර්ඝ කාලීනව තිබිලා තිබෙනවා. 

රනිල් වික්‍රමසිංහ මැතිතුමා 8 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නට පස්සේ මට හිතුනා එතුමා විධායක ජනාධිපති වෙන්නේ විදෙස් බලවේගවලට විරුද්ධවයි. 

ඒ අවස්ථාවේදී ශ්‍රී ලාංකික බුද්ධිමත් දේශපාලන නායකයින් සියල්ල එකතු වෙලා ඒ විදේශ මතවාදය පරාජය කරලා ඝෝඨාබය රාජපක්ෂ ජනාධිපතිතුමා බොහෝ අය එතුමන්ට දොස් කියනවා. 

නමුත් මමනම් එහෙම දොස් කියන්නේ නැහැ. 

බොහෝ අය එතුමන්ට දොස් කියන්නේ නොදන්නා කාරණා නිසා. 

සමහර කාරණා අපි දන්නවා. 

ඒ නිසා තමයි මම කියන්නේ කවුරු මොනවා කිව්වත්, ඝෝඨාභය ජනාධිපතිතුමන්ව අපි ආරක්ෂා කරගත යුතුයි කියලා. 

දෙස් විදෙස් බලපෑම්වලට ලක්වන අපේ දේශපාලන නායකයින් පිළිබඳව අවබෝධයක් තියන නිසයි මම එහෙම කිව්වේ. 

මට මතකයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව  ඝෝඨාබය රාජපක්ෂ ජනාධිපතිතුමා මුහුදු සීමාවෙන් පිටට යන්න ඕන වැඩ බලන ජනාධිපතිවරයෙක් පත්කර ගන්න. 

එතුමා මුහුදු සීමවෙන් පිටට ගියා. ඉල්ලා අස්වීමේ ලිපිය එතුමා එව්වා. මට මතකයි ඒ අවස්ථාවේ මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා මාත් සමඟ දුරකතනයෙන් කිව්ව කතාව. 

ඒ අවස්ථාවේදී කතානායකතුමන්ට තිබුණා තනතුරු තණ්හාව තිබෙන කෙනෙක් නම් පාවා දෙන්න පුලුවන්කම තිබුණා. 

ඒක කවදාහරි දේශපාලන පොත්වල සටහන් වෙයි, කතානායකතුමා ඒ පාවාදීමට එකඟවුනේ නෑ කියලා. 

මට මතකිය කතානායක නිල නිවස වට කරගෙන අවබෝධයක් නොමැති තරුණ පිරිස් හු කියනවා, ගල් ගහනවා, කෑ ගහනවා ඒ සියලු අය අතරින් ගේට්ටුවේ ඇතුළු වෙන්න බැරි කතානායක නිල නිවසට විදේශීය නියෝජිත පිරිසක් ඇවිත් කියනවා, කතානායකතුමාට මේ රට බාරගන්න කියලා. 

ඝෝඨාභය මහත්තයට උපදෙස් දෙනවා විදේස් බලවේග ඔබතුමා රටින් පිටවෙනවා නම් රනිල්ව අයින් කරලා යන්න කියලා. කොහොම හරි එතුමා ඒ දේ ඉටු කළේ නැහැ. 

ඒ නිසා ලෝකයේ ගුවන් තොටුපළක අපිට ඉඩ කඩක් හොයාගන්න ගොඩක් අපහසු වුණා ඝෝඨාබය ජනාධිපතිතුමා මේ රටින් පිටවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. 

ඝෝඨාබය ජනාධිපතිතුමා ශ්‍රී ලාංකික මහජනතාවට යටත් වුණා නමුත් එතුමා විදේහීකයින්ට යටත් වුණේ නැහැ. 

ඒකයි මම දන්න දේශපාලන පණිවිඩය. 

රනිල් වික්‍රමසිංහ මැතිතුමා 8 වන විධායක ජනාධිපති වුණාට පස්සේ මට දැන් සැක සංකා බහළ වෙනවා අපේ හාමුදුරුවනේ දැන් ඉතිරිවෙලා තිබෙන්නේ අපේ නායකයෝ ඉතිහාසය පුරා මරා දැම්මා වගේ දැන් තිබෙන ඊළඟ පියවර මරා දැමීම. 

අපේ ඉතිහාස පොත් දිහා බලනකොට ඒවායේ 1948 දී අපි නිදහස ලබාගත් හැටි සඳහන් වෙනවා. 

මේ නිදහස ලබාගත් දා සිට අපිට හිටපු සෑම නායකයෙක්ම එක්කෝ අකල් මරණයක්, එසේ නොමැති නම් අකල් මරණයකට ගොදුරු වෙන්න ගොස් බොහෝම අමාරුවෙන් ජීවත් වීම තමයි සිදුවෙලා තිබෙන්නේ. "