Thursday, November 28, 2024

General line - 0115112241

ජනපති ලෝක බැංකුවේ ප්‍රධානියා සමග සාකච්ඡාවක




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර සාකච්ඡාවක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය ගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳව ලෝක බැංකු සභාපතිවරයා එහිදී අදහස් දක්වා තිබෙනවා. 

අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා ආර්ථික සංවර්ධනය වැනි අංශවල නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට  මූල්‍ය සහ තාක්ෂණික උපකාර සැපයීම කෙරෙහි ද එහිදී සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ආර්ථික ප්‍රතිපත්ති, මූල්‍ය තරඟකාරීත්වය, ආයෝජන, ආයතනික සංවර්ධනය සහ දිළිදුකම පිටුදැකීම ඇතුළු කාර්යයන් සඳහා මේ වන විට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙනවා. 

ඉදිරියේ දී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය, ජල කළමනාකරණය, ආරක්ෂාව, පාරිසරික ස්ථාවරභාවය, සමාජ සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් පරිවර්තනය දක්වා එම සහාය  ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරෙනවා.

විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල දිළිදුභාවය පිටුදැකීමට රජය ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ. 

බලශක්ති ක්ෂේත්‍රයේ අයෝජන ඉහළ නැංවීමට අවධානය යොමුව ඇති බවත්, සංචාරක කර්මාන්තය, නාවික කර්මාන්තය, රාජ්‍ය ආයතන හා බලශක්ති ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම මගින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.

එමෙන්ම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ආර්ථික වර්ධනය සහතික කිරීම, විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය හා මානව සම්පත් සංවර්ධනය වැඩිදියුණු කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ලෝක බැංකු සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

2025 ජූලි 25 වන දින විවෘත කිරීමට නියමිත දකුණු ආසියානු ඒකාබද්ධ කාර්යාල 20හි සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව ද තේරි ඇති බව  ලෝක බැංකු සභාපතිවරයා මෙහිදී පවසා තිබෙනවා. 

ලෝක  බැංකු සමූහය යටතේ පවතින  නැවත ගොඩනැඟීම හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව, ජාත්‍යන්තර සංවර්ධන සංගමය, ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සහ බහු පාර්ශ්වික ආයෝජන ඇපකර නියෝජිතායතනය යන ආයතන අතර සම්බන්ධීකරණය එම කාර්යාල අතර සිදු වනු ඇති බවයි ලෝක බැංකු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.