Wednesday, September 18, 2024

General line - 0115112241

ආගමන විගමන පාලකට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි නියෝග

 උදය කුමාර




ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඒ, විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අත්හිටුවාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකිරීමේ චොදනාව යටතේයි.

එම චෝදනා කෙටුම්පත් කොට ලබන 25 වනදා අධිකරණය හමුවේ  ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.

අදාල වීසා ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ එම්. ඒ. සුමන්දිරන්, පාටලී චම්පික රණවක සහ රවුෆ් හකීම් යන මහත්වරුන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා.

එම පෙත්සම් අද මෝසමක් මගින් කැඳවීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.
ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළා. 

පෙත්සම්කාර මන්ත්‍රීවරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් අගෝස්තු මස 02 වනදා  විද්්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබුණා.

ඊට අමතරව පෙර පැවති ක්‍රමයට වීසා නිකුත් කිරීම පියවර ගන්නා ලෙසත් එදින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් අතුරු නියෝගයක් නිකුත් කළා.

අදාළ පෙත්සම් අද ආගමන හා විගමන පාලකවරයා ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

එහිදී ඇය කියා සිටියේ මෙම අතුරු තහනම් නියෝග නිකුත් කිරීමෙන් අනතුරුව ඇතිවූ ප්‍රායෝගික අපහසුතා නිසා එම නියෝගය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ආගමන හා විගමන පාලකවරයා සිය මෝසමෙන් ප්‍රකාශ කර ඇති බවයි. 

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ මෙය ජාතික ආර්ථිකය හා සම්බන්ධ කරුණක් බවත් මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකර සිටීමට වගඋත්තරකරුට හැකියාවක් නොමැති බවයි. 

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බවත් එය වගඋත්තරකරු අමතක නොකළ යුතු බවත් ඊට අනුකූලව කටයුතු කිරීම ආගමන හා විගමන පාලකවරයාගේ වගකීම බවත් මෙහිදී සාමාජික විනිසුරු අචල වෙංගප්පූලි මහතා සඳහන් කර සිටියා. 

අදාල වීසා ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ ඒම්.ඒ.සුමන්දිරන් මහතාද අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

අධිකරණය විසින් නිකුත් කළ මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් වග උත්තරකරු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි ඔහු සදහන් කළා.

ඒ අනුව ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බවත් ඔහු කියා සිටියා.

අදාළ සමාගම මෙම අතුරු තහනම් නියෝගය අනුව කටයුතු කිරීමට සූදානම් යැයි ලිඛිතව දැනුම් දී තිබුණද ආගමන හා විගමන පාලකවරයා ඊට අනුකූලව කටයුතු කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

කලින් පැවැති ඊ වීසා නිකුත් කිරීමේ ක්‍රමය යලිත් ස්ථාපිත කිරීමට එම ආයතනය එකගතාවය පල කළ ද ආගමන හා විගමන පාලකවරයා ඊට අනුමැතිය නොදීම නිසා මෙම තත්වය උද්ගත වූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී  රවුෆ් හකීම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට දැඩි අගතියක් සිදුවූ බවයි.

ආගමන හා විගමන පාලකවරයා හිතාමතාම මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති නිසා අධිකරණයට අපහාස කිරීම යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව මේ පිළිබඳව කරුණු විමසීම සඳහා ආගමන හා විගමන පාලකවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබුණද ඔහු විදේශ ගත වී සිටින බව පසුව අනාවරණය වුණා.

ඒ වෙනුවට වැඩබලන ආගමන හා විගමන පාලකවරිය සහ එම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පාලක ඉන්දික හේරත් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝග නිකුත් කළා.