Wednesday, September 18, 2024

General line - 0115112241

දේශබන්දුට පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මෝසම සලකා බැලේ

උදය කුමාර




දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ බලතල හා රාජකාරී කටයුතු ඉටුකිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මෝසම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම අතරමැදි පෙත්සම යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද සලකා බැලුණා.

එහිදී අදාළ අතරමැදි පෙත්සම ඉදිරිපත් කළ පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන, පූජ්‍ය කොට පිටියේ රාහුල සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරු  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ පැවැත්වීමේදී පොලිස්පතිවරයා වෙත සුවිශේෂී වගකීමක් පැවරී තිබෙන බව සඳහන් කළා.

ජනාධිපතිවරණයට අවශ්‍ය පොලිස් නිලධාරීන් වෙන්කිරීම, ඔවුන් සේවයේ යෙදවීමේ බලය පැවරී ඇත්තේ පොලිස්පතිවරයා වෙත පමණක් බවත් වෙනත් අයෙකුට එම වගකීම ඉටු කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා. 
වත්මන් පොලිස්පතිවරයාගේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් මේ දක්වා වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කර නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා. 

එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම මෝසම ගොනු කිරීමට පෙර ඔබගේ සේවාදායක ස්වාමීන් වහන්සේලා විසින් වැඩබලන පොලිස්පති වරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබුණේ දැයි විමසුවා.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ඒ පිළිබඳව උපදෙසක් තමන්ට ලැබී නොමැති බවයි. ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම් ලබන 18 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.