Friday, November 29, 2024

General line - 0115112241

දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 35ක්

ටී කේ ජී කපිල




04 වන දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් 35ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබෙනවා.

එහිදී ඔවුන් විසින් රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 17ක් දිනා ගනු ලැබුවා.

එම තරගාවලියේ දී නව දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා    වාර්තා 05ක් තැබීමට ද ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් සමත් වුණා.  

ඒ, මීටර් 100, මීටර් සියය 4 සහාය දිවීම, මීටර් 200, මීටර් 800 සහ උස පැනීම ඉසව්වලින්. 

කොළඹ ආනන්ද විද්‍යාලයේ ටෙරෝන් විජේසිංහ මීටර් 100 සහ මීටර් සියය 4 ඉසව් සඳහා නව දකුණු ආසියානු කලාපයේ වාර්තා තබමින් හා කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවක් තබමින්  රන් පදක්කම් 02ක් දිනා ගැනීමට සමත් වුණා.

කොළඹ ආනන්ද විද්‍යාලයේම ඉදුසර ක්‍රීඩකයා ද මීටර් 200 සහ මීටර් සියය 4 ඉසව් සදහා දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා වාර්තා තබමින් රන් පදක්කම් 02ක් දිනා ගනු ලැබුවා.

04 වන දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි නුවරදී පසුගිය 11 වනදා සිට ඊයේ දිනය දක්වා පැවැත්වුණා.

එම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ නිලධාරීන්, මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉගෙනුම ලබන පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් පිරිසක් සහ තරගාවලියට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මව්පියන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.