Thursday, November 28, 2024

General line - 0115112241

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් - ප්‍රතිඵල දින හතලිහකින්




අද පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාගය අවසන් වූ පසු සියලුම පළාත් අධ්‍යක්ෂකවරුන්ගෙන් වාර්තාවක් ලබාගත් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.

එමෙන්ම දින 40ක් ඇතුළත ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849කදී අයදුම්කරුවන් තුන් ලක්ෂ 23,879 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා විභාග මධ්‍යස්ථාන හතකදී සහ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා එම රෝහලේ විභාග මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර තිබූ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

විභාගය අවසන් වූ පසු විභාගය සඳහා පෙනී සිටි සිසුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.